COVID-19 හේතුවෙන් ගුවන්තොටුපල වසා දැමීමට සැලසුම් කර ඇති බවට පවතින කටකතා ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගමේ සභාපති ප්‍රතික්ෂේප කරයි

මාර්තු 16, 2020
  • ගුවන් තොටුපළවල දී සැක සහිත හෝ ආසාදිත කොරෝනා වයිරස් මගීන් හඳුනා ගැනීම සඳහා දැඩි පරීක්ෂණ ක්‍රියාවලියක්
  • මුල් වාසස්ථානය හෝ සංචාරය කල  ස්ථාන සැඟවීමට  අවස්ථාවක් නැත

කොරෝනා  වෛරසය (COVID-19)  හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ  වසා දැමීමට සැලසුම් කර ඇති බවට පැතිර යන කටකතා ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාඟම අද දින  ප්‍රතික්ෂේප කළේය.

 “යාපනය හැර අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා ” යනුවෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමෙහි සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඒ. චන්ද්‍රසිරි පැවසීය.

සියලුම ගුවන් තොටුපළවල් සාමාන්‍ය මෙහෙයුම් දිගටම පවත්වාගෙන  යන  අතර ඒ පිළිබඳව  කලබල විය යුතු නැති බවත් ඔහු පැවසීය. සමාජය තුල කලබලකාරී සහ අපහසුතා තත්වයන් ඇති කිරීමට සමාජ මාධ්‍ය පළකිරීම්  තුලින් සිතාමතා ගත් ඇතැම් උත්සාහයන්  වලට හසු නොවන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 “පූර්වාරක්ෂක පියවරක් ලෙස යාපනයට සහ ඉන් පිටතට  ජාත්‍යන්තර ගුවන් ගමන් තාවකාලිකව නවතා  ඇතිමුත් නියමිත දේශීය ගුවන්ගමන් වලට  එයින්  කිසි  බලපෑමක් සිදුවන්නේ නැහැ.”ඔහු  defence.lk. වෙත පැවසීය.

මේ අතර, ජාත්‍යන්තර ගුවන් තොටුපලවල තුලදී ආසාදිත මගීන්ව පරීක්ෂා කිරීම, හඳුනා ගැනීම සහ පුර්ව නිරෝධායන ක්‍රියාමාර්ග ගැනීමේ සූදානම පිළිබඳව අදහස් දක්වමින් මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි පවසා සිටියේ ආරක්‍ෂිත ආම්පන්න සහ ස්කෑනර් ඇතුළු උපකරණ ප්‍රමාණවත් ලෙස කටුනායක ගුවන්තොටුපලෙහි  ස්ථාපනය කර ඇති බවයි.

 “ගොඩබෑමට පෙර, මගීන්ට ඔවුන්ගේ වෛද්‍ය තත්ත්වය ප්‍රකාශ කරන ලෙසත් අනෙක් අයට අනතුරක් වන අනවශ්‍ය අවදානම් නොගන්නා ලෙසත් දැනුම් දෙනවා ඒ වගේම විදේශයන්හි සිට පැමිණෙන මගීන්ගේ විදේශ ගමන් බලපත්‍රයන් නිලධාරීන් විසින් හොඳින් පරීක්ෂා කිරීමක් තුලින්   පිටත්වූ අවසාන ගුවන් තොටුපළවල්  සහ ඔවුන් ජීවත් වූ  හෝ සංචාරය කළ  රටවල් පිළිබඳව තහවුරු කරගැනීමක් කරගන්නවා.” ඔහු පැවසු අතර තවදුරටත් ඔහු පැවසුවේ ඔවුන් COVID-19 ආසාදිත රටවලින් පැමිණියේ නම් වාසස්ථානය හෝ සංචාරය කල  ස්ථාන සැඟවීමට  අවස්ථාවක් නැති බවයි.

COVID-19 ආසාදිත රටවල ජීවත්වන හෝ සංචාරය කරමින් සිටි සමහර ශ්‍රී ලාංකිකයන් දැනට පවතින නිරෝධායන ක්‍රියාවලිය මගහැර යාම  සඳහා වෙනත් රටවලින් ගුවන් ගමන් ගෙන ඇති බවට, මීට පෙර තොරතුරු ලැබී තිබිණි.

ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගමේහි සභාපතිට අනුව, වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පවත්වන අනිවාර්ය වෛද්‍ය පරීක්ෂණ සඳහා වන උපකාරක ස්ථාන පහක් වෙත මගීන් ගුවන්තොටුපළේ දී යොමු  කෙරේ.

 “මගීන් වෛද්‍ය පරීක්ෂාව සමත් වූ පසු, පෙර  ප්‍රකාශිත තොරතුරු සමඟ කිසියම් වෙනසක්  තිබේ නම් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර පළපුරුදු ආගමන විගමන නිලධාරීන් විසින් නැවත පරීක්ෂා කරනවා ”,ඔහු  පැවසීය.

මේජර් ජෙනරල්  චන්ද්‍රසිරි පැවසුවේ ආසාදනය වී ඇති බවට සැකකරන පුද්ගලයින් හුදෙකලා කොට වෙනමම මුලික නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බවයි.

 “මූලික නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුව ආසාදිත යැයි සැකකටයුතු පුද්ගලයින් දිවයින පුරා පිහිටුවා ඇති නිරෝධායන පහසුකම් සඳහා රැගෙන යනවා.” ඔහු පැවසු අතර  COVID -19 ආසාදනය වී ඇති බවට සැක කෙරෙන හෝ ආසාදිත මගීන් සියලුම ගුවන් තොටුපලවල් වලදී පරීක්‍ෂා කිරීම සඳහා සියලු පූර්වාරක්‍ෂක පියවර ගෙන ඇති බව ඔහු තවදුරටත් පැවසීය.