COVID-19 පිළිබඳව සමාජ මාධ්‍ය හරහා කටකතා පතුරවන්නන්ට එරෙහිව ආරක්‍ෂක අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

මාර්තු 16, 2020
  • නොමඟ යවනසුළු  තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කොරෝනා වෛරසය පිළිබඳව කටකතා පතුරවන හා නොමඟ යවන තොරතුරු පළ කරන සමාජ මාධ්‍ය ජාල සහ වෙනත් ඩිජිටල් මාධ්‍ය වෙබ් අඩවි හරහා පළකරන අයවළුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මේ වන විට  රජය ගෙන යන ප්‍රයත්නය අතරතුර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කිරීම සඳහා ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් කරන ලද අසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍යාංශයට සහ පොලීසියට මහජනයාගෙන් පැමිණිලි කිහිපයක් ලැබීමෙන් පසු අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.

“COVID -19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා මෙම අර්බුදකාරී තත්වය තුළ අපේ ජනතාවගේ ජීවිත වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මුළු රටම එක්සත් විය යුතුයි . ඇතැම් පාර්ශවයන් සහ පුද්ගලයින් ජනතාව නොමඟ යැවීම සඳහා කටකතා පතුරවන ආකාරය දැකීම අතිශයින්ම කණගාටුවට කරුණක් ” ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

සමාජ මාධ්‍ය ජාලවල ව්‍යාජ හා නොමග යවන සුළු තොරතුරු පළ කරන එවැනි පුද්ගලයින්ගේ හැසිරීම රජය නොඉවසන බව ඔහු පැවසීය.

“පොලීසිය ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇත,” ආරක්‍ෂක ලේකම් පැවසීය.

තමන්ගේ ෆේස්බුක් ගිණුම්වලින් ව්‍යාජ හා නොමග යවන සුළු පළකිරීම් ප්‍රසිද්ධියට පත්  කළ පුද්ගලයින් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න defence.lk වෙත පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, 2007 පරිගණක අපරාධ පනතේ අංක 24 යටතේ, සමාජ මාධ්‍ය ජාලා හරහා කටකතා සහ අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම හෝ සංසරණය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයන්ට උපරිම වශයෙන් වසර පහක සිර දඬුවමක් නියම කෙරේ.