ගිං ගඟේ පාලමක් අවහිර කරමින් සිරවී තිබු සුන්බුන් නාවික හමුදාව ඉවත් කරයි

මැයි 10, 2020

ඉදිරියේදී ඇතිවිය හැකි ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර වැළැක්වීම සඳහා ගාල්ල ගිං ගඟේ අගලිය පාලම යට එක්රැස් වී තිබු සුන්බුන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මැයි 9) දින ඉවත් කර තිබේ.

සුන්බුන් පාලම යට සිරවී තිබීම නිසා සාමාන්‍ය පරිදි ජලය ගලා යාම අවහිර වී අවට පහත් ප්‍රදේශවලට ගංවතුර තර්ජනයක් ඇති විය හැකිව තිබුණි.

දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් මත දකුණු නාවික විධානයේ භට පිරිස් යොදවා අවහිර වූ ප්‍රදේශය නාවික හමුදාව විසින් පිරිසිදු කර තිබේ.