ඇඳිරි නීතිය ලිහිල් කළද ගමනාගමනයන් සීමා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා - NOCPCO ප්‍රධානී

මැයි 10, 2020

ඇඳිරි නීතිය සඳුදා (මැයි 11) දින සිට ලිහිල් කර තිබියදී අත්‍යවශ්‍ය සේවාවන් සහ අත්‍යවශ්‍ය දෛනික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පමණක් ගමනාගමනය සීමාකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.    

තවද, පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන්හි නියුතු පුද්ගලයින්ට පමණක් භාවිතා කල හැකි අතර සාමාන්‍ය ජනතාව එවැනි ප්‍රවාහන පහසුකම් භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය. යුධ හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍යය වෙත පැවසීය.  

අද උදෑසන මෙල්බර්න් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් තවත් පුද්ගලයින් 272 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි බවද පැවසූ ඔහු මැලේසියාවේ සිට තවත් පුද්ගලයින් පිරිසක් අද සවස මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසීය.  

“පසුගිය සති කිහිපය තුල, සියළුම ශ්‍රී ලාංකිකයන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු සඳහා කැපවීමෙන් කටයුතු කලා. ඒ අතරම, වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමින් සහ මහජනතාවගේ යහපත උදෙසා තම රාජකාරි ඉටු කිරීම සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපරිම සහයෝගය ලබාදීම සෑම පුරවැසියෙකුගේම පරම යුතුකම වේ.” ලුතිනන් ජෙනරාල් සිල්වා පැවසීය.