කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා චීනය ආරක්‍ෂක අමාත්‍යාංශයට වෛද්‍ය ආධාර ලබාදෙයි

මැයි 12, 2020
  •   ටොන් පහක වෛද්‍ය ආධාර ආරක්‍ෂක හමුදාව වෙත පරිත්‍යාග කෙරේ.

රට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් ආරක්‍ෂක හමුදාවන්හි දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීනය විශාල වෛද්‍ය ආධාර තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.   

ටොන් 5 කට වඩා බරැති වෛද්‍ය ආධාර තොගයක් රැගත් මහජන විමුක්ති හමුදාවේ - ගුවන් හමුදා Y-20 ගුවන් යානය අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලගා විය.

ඉවත දැමිය හැකි වෛද්‍ය මුහුණු ආවරණ (disposable medical masks) 70,000, ශල්‍ය මුහුණු ආවරණ (surgical masks) 9,000 , වෛද්‍ය ශල්‍ය මුහුණු ආවරණ KN95 (medical surgical masks) (KN95) 9,000 ,  වෛද්‍ය ආරක්‍ෂිත ඇස් ආවරණ (medical protective goggles) 6,300, ඉවත දැමිය හැකි වෛද්‍ය මුහුණු ආවරණ (disposable medical protective screens) 4,500, ඉවත දැමිය හැකි වෛද්‍ය ආරක්‍ෂක ඇඳුම් කට්ටල (disposable medical protective suits) 4,500, 4,500 disposable medical isolation gowns, ඉවත දැමිය හැකි වෛද්‍ය බුට් ආවරණ (disposable medical boot covers) 9,000, ඉවත දැමිය හැකි වෛද්‍ය අත්වැසුම් (disposable medical gloves) 80 ක්, ඉන්ෆියුෂන් පොම්ප (infusion pumps) 30, 16L විෂබීජ නාශක දියර ඉසින යන්ත්‍ර (disinfectant sprayers) 02, අයිආර් උෂ්ණත්වමාන (IR thermometers) 70 සහ අධෝරක්ත චායා මගින් උෂ්ණත්වය නිරීක්ෂණය කරන හෙල්මට් (infrared image temperature observing helmets) 02 මෙම වෛද්‍ය ආධාර තොගයට ඇතුලත් වේ.     

“COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා දැඩි අවදානමකට මුහුණ දෙමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. චීනයේ මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් සමඟ සිය අත්දැකීම් බෙදාහදා ගනී. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට ඔවුන්ගේ මෙහෙයුම් සඳහා පහසුකම් සැපයීම සඳහා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට චීන මහජන සමුහාණ්ඩුවේ  ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කළේය” යනුවෙන් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.     

චීනයේ මහජන විමුක්ති සන්නද්ධ හමුදාව නියෝජනය කරමින් නාවික සහ ගුවන් උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොං සහ හමුදා නාවික සහ ගුවන් සහකාර උපදේශක ලුතිනන් කර්නල් චැං ක්වාන්ජින් විසින් වෛද්‍ය උපකරණ තොගය ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් නිශාන්ත මානගේ වෙත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී  නිල වශයෙන් භාරදෙන ලදි.