දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම නිකුත් කෙරේ

මැයි 19, 2020

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (18) නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කරමින් දිවයිනේ පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නායයෑම්වලට ගොදුරු විය හැකි දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ කිහිපයක් නම් කර ඇත.

පූර්ව අනතුරු ඇඟවීම නිසා අද පස්වරු 2.00 සිට නායයෑම් සිදුවිය හැකි බැවින් ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කළුතර, කෑගල්ල, කොළඹ, නුවරඑළිය, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් නම්  කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.

පසුගිය පැය 24 තුළ ඇදහැළුණු  වර්ෂාව දිගටම පැවතුනහොත් සහ 75mm ට වඩා වැඩි වුවහොත් නායයෑම්, බෑවුම් කඩා වැටීම් , ගල් පෙරලීම් , පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව  ගිලා බැසීම් පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාව ගෙන් ඉල්ලා සිටී. භූමියේ හා බිත්තිවල ඇතිවන ඉරිතැලීම්, එක්වර ජල උල්පත් ඇතිවීම හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම් අවහිරවීම් හෝ නැතිවීම් පිළිබඳව අවධානයෙන් පසුවන  ලෙස එම ආයතනය අනතුරු අඟවයි.