තඹ කර්මාන්තශාලාවේ සේවකයන් පිළිබඳව වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

මැයි 28, 2019

දැනට ඇප මත මුදා හරින ලද වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් නව දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත ලබා දීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සඳුදා (මැයි 27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, අදාළ සැකකරුවන් 9 දෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින අනෙක් සැකකරු ලබන 10 වැනිදා (ජුනි) දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලද බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද (මැයි 27) පස්වරුවේ කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

සමාජ මාධ්‍ය තුලින් ජනතාව අතර අසමගිය හා ද්වේශය ඇති කිරීම සඳහා ඉතා පැරණි සිදුවීම් වර්තමාන සිදුවීම් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බැවින් ඒවා භාවිතා කිරීමේදී ඉතා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේය. සමාජ මාධ්‍ය භාවිතා කරන විට ජනතාව වඩා දැනුවත්ව එය සිදුකල යුතු බව ද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

බදුරලිය, දික්හේන ප්‍රදේශයේ පාසලක තිබු අත්බෝම්බ පාර්සලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි. එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී අදාළ සැකකරුගේ සොහොයුරෙකු වන පවිත්‍ර පුෂ්පකුමාර නමැති අය සන්තකයේ තිබී පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 972 ක් සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ලද තොරතුරක් අනුව ඉරිදා සවස (මැයි 26) මීගමුව අඟුරුකාරමුල්ල ප්‍රදේශයේ නිවසක් වැටලූ මිගමුව පොලීසිය විසින් එහි තිබී ඉතා අඩු මුදලකට ආනයනය කරන ලද ඉතා පහත තත්ත්වයේ කල් ඉකුත් වූ රුපලාවන්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. සිදුකරන ලද පරීක්‍ෂණ වලින් තහවුරු වුයේ මෙම භාණ්ඩ තොගයේ පැරණි ඇසුරුම් දවටන ඉවත්කර නව දවටන යටතේ වෙළඳ පොලට නිකුත්කිරීම සඳහා සුදානමක් තිබු බවයි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව වෙත මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොතිබුන ද, ඉන්දියානු පුවත්පත්වල පළවූ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ලක්ශාදීප් දුපත වෙත අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් 15 දෙනෙකු ඇතුළුවීමට උත්සාහ දරන බවට ලැබුණු තහවුරු නොකරන ලද තොරතුර හේතුවෙන් එම ප්‍රදේශයේ රාජකාරියේ නියුතු සියලුම නාවික හමුදා නැව්, යාත්‍රා, බෝට්ටු සහ අනු කණ්ඩ දැනුවත්කර ආරක්‍ෂාව තරකර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු නාවික හමුදාව විසින් විශේෂ ආරක්‍ෂක විධිවිධාන දියත් කර ඇති බව ඔහු නැවත අවධාරණය කළේය. නීති විරෝධී ක්‍රියාකාරකම් වලක්වා ගැනීම සඳහා මෙම ආරක්ෂක පියවර ඉතා සාර්ථක වී ඇත. මෑත කාලය තුල නීති විරෝධි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී ඇති අතර පසුගිය සිකුරාදා දකුණේ මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 715 ක් ගැඹුරු මුහුදේ දී නීති විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද නාවික හමුදාව සමත්වී ඇත. මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 3000 ක් පමණ දුරක දී ඔස්ට්‍රේලියාව දෙසට යාත්‍රා කරමින් සිට ඇති අතර එහි සිටි සංක්‍රමණිකයන් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. නාවික හමුදාව පැය 24 පුරාම ආරක්‍ෂක මෙහෙයුම් කටයුතු සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, නාවික හමුදා භටපිරිස් විසින් මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මට්ටක්කුලිය පාලම යට තිබී අතහැර දමන ලද ඩ්‍රෝන යානාවක් සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.