අසත්‍ය පුවත්පත් වාර්තාවක් පිලිබඳ පොලිස් විමර්ශන

මැයි 24, 2019

තව්හීඩ් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර සිංහල කතුන් 4000 කගේ පමණ වඳ සැත්කම් සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව සාක්‍ෂි ලැබී ඇති බවත්, එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් පුවතක් ඊයේ (මැයි 23) ජාතික පුවත්පතක මුල් පිටුවේ පලවිය. මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් 7000 කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවද එම වාර්තාවේ සඳහන්. මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් විශේෂ පොලිස් කණ්ඩායම් විසින් එවැනි කිසිඳු විමර්ශනයක් සිදුකර නොමැති බව සඳහන් කළේය. තවද එවැනි පැමිණිලි කිසිවක් පොලිසිය වෙත ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය. ඊයේ (මැයි 23) සවස කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පොලීසිය වෙතින් කිසිදු විමසීමක් සිදුකර නොමැති බවත් අදාළ පුවත්පත සහ එම පුවත සැපයු මාධ්‍යවේදියාත් මෙහි වගකීම සම්පුර්ණයෙන්ම බාරගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු සතුව ඇති විශාල මුදලක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් මේ වනවිට පැවැත්වෙන බවත් මව්වරුන් හට වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිඳු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වැඩබලන පොලිස්පතිතුමන් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේ දී බදාදා (මැයි 22) දින සවස සිදුකළ නීතිවිරෝධී මත්පැන් පොලක් වැටලීමකදී සිදු වූ වෙඩි තැබීමකින් අකුරැස්ස පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ. මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, සැකකරු සහ අවිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත. මියගිය පොලිස් නිලධාරියා වයස අවුරුදු 35 ක් වන කසුන් සම්පත් නම් වන අතර, ඔහු විවාහක දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය