ගුවන් හමුදාව සිය සාමාජික දු දරුවන්ගේ අධ්‍යාපනික දක්ෂතා ඇගයීමට ලක්කරයි

පෙබරවාරි 01, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ අධ්‍යාපනික දක්ෂතා දැක්වූ දු දරුවන් ඇගයීමේ උත්සවයක් ඊයේ (ජනවාරි 31) ගුවන් හමුදා මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලද බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙහිදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සහ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ගුවන් හමුදා සාමාජිකයින්ගේ දරු දැරියන් ඇගයීමට ලක් කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුලින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175 ට වැඩියෙන් ලැබූ සිසුන් 111 දෙනෙකු සහ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් “A’ සාමාර්ථ තුනක් ලබාගෙන සමත්වූ එක් සිසුවකු සඳහා මුල්‍යමය ත්‍යාග පිරිනැමීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිලධාරින් හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.