මොරටුව විශ්ව විද්‍යාල ඉංජිනේරු කණ්ඩායමක් පොදු ස්ථාන විෂබිජහරණය කල හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවයි

ජුනි 11, 2020

•    අඩු කාලයකින් සහ අඩු වියදමකින් වැඩි ප්‍රදේශයක් විෂබිජහරණය කළ හැකිය.

මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු කණ්ඩායමක් විසින් දේශීය ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන පොදු ස්ථාන විෂබිජහරණය කල හැකි දුරස්ථපාලකයක් මගින් ක්‍රියා කරන රොබෝ යන්ත්‍රයක් නිපදවා ඇත.

මෙම රොබෝ යන්ත්‍රය විසින් නිකුත් කරනු ලබන පාරජම්බුල කිරණ මගීන් විෂබිජහරණය සිදු කෙරෙන නිසා වෙනත් විෂබිජහරණ දියර යොදා විෂබිජහරණය සිදු කල නොහැකි ඉලෙක්ට්‍රොනික උපාංග සහිත ස්ථාන පවා පහසුවෙන් විෂබිජහරණය කිරීමේ හැකියාව ඇත.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලද SRQ Rbotics ආයතනය මගින්  නිපදවා ඇති මෙම රොබෝ යන්ත්‍රය ඊයේ (ජුනි 10) දින අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ඉදිරිපත් කරන ලදී.

තවද, මෙම යන්ත්‍රය භාවිතයෙන් අඩු කාලයකින් සහ අඩු වියදමකින් වැඩි ප්‍රදේශයක් විෂබිජහරණය කල හැකිවීම නිසා මෙය සංචාරක ක්ෂේත්‍රයේ හෝටල්,විශ්ව විද්‍යාල,පාසැල් රාජ්‍ය ආයතන,ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථාන සදහා යොදා ගත හැකිය.

මෙවැනි යන්ත්‍රයක් විදෙස් රටකින් ආනයනය කරන්නේ නම් ඊට ලක්ෂ 300 ක් පමණ වැය  වනු ඇති බවත්  දේශීය ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන ලක්ෂ 10 කින් පමණ මෙය නිර්මාණය කල බවත් ඉංජිනේරු කණ්ඩායමේ ප්‍රධානී  තරිදු සුරාජ් defence.lk වෙත පැවසීය.