කැබිතිගොල්ලෑව සමූලඝාතනය සිදුවී අදට වසර 15 යි

ජුනි 15, 2020

කැබිතිගොල්ලෑවේදී සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් බස් රථයක් වෙත එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ සංහාරයන්ගෙන් එකකි. මෙම සංහාරය සිදු වී අදට (2020 ජුනි 15) වසර 14 ක් ගත වී ඇත.

වවුනියා - හොරොව්පොතාන මාර්ගයේ ගමන් කරමින් තිබු බස් රථයක් ඉලක්ක කරගනිමින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 2006 ජුනි 15 වන දින පෙ.ව. 9.45 ට පමණ කැබිතිගොල්ලෑවේදී මාර්ගය අසල අටවා තිබු ක්ලේමෝ බෝම්බ දෙකක් පුපුරුවා හැරීම නිසා කාන්තාවන් සහ කුඩා දරුවන් 15 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 63 දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඝාතනය කරමින් 42 දෙදෙනෙකු  තුවාලකරුවන් බවට පත් කළේය.

දිනපතා එකම මාර්ගයේ ධාවනය වන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථය ත්‍රස්‌තවාදීන්ගේ ඉලක්කය වී තිබිණ. එල්ටීටීඊ මගින් කරගෙන යනු ලබන වර්ගවාදී සැලසුම් අනුව සිදුකල මෙම පිපිරීමෙන් මිය ගිය සියලු දෙනා සිංහල ජාතීන් වේ.

මින් පෙර එල්ටීටීඊයට හිතවාදීව කටයුතු කල රාජ්‍ය හා ජාත්‍යන්තර ආයතන විසින් මෙම බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම ඩයස්පෝරාව ඇතුළු ඔවුන්ගේ ක්‍රමෝපායන්, අරමුදල් රැස් කරන්නන් දැඩි ලෙස හෙලා දැක තිබේ.  

රජය සහ එල්ටීටීඊය අතර සටන් විරාම ගිවිසුම 2002 වර්ෂයේ පෙබරවාරි මාසයේදී අත්සන් කිරීමෙන් අනතුරුව එල්ටීටීඊය විසින් සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකරනු ලැබූ මාරාන්තිකම ප්‍රහාරය මෙය වේ.

පුපුරවා හරින ලද ක්ලේමෝ පුපුරණ ද්‍රව්‍යද සහිතව කිලෝ 20 ක් පමණ බරකින් යුක්ත වූ බව පසුව සිදුකල පරීක්‍ෂණ වලින් හෙළිදරව්  විය.

බෝම්බ පිපිරිම සිදු වූ ස්ථානයේ පාසල් දරුවන්ගේ මළසිරුරු, තැනින් තැන විසිරි තිබු කාන්තාවන්ගේ සහ වැඩිහිටියන්ගේ නිසල දේහයන් තැන තැන විසිරී තිබෙන ආකාරය මාධ්‍ය මගින් දර්ශන විකාශය වීමත් සමග මෙම ප්‍රහාරය මුළු රටම කම්පනයට පත්කළ අතර සියලු රටවැසියන් විසින් මෙම සිදුවීම හෙළා දැක තිබේ.  

“මෙම කුරිරු ප්‍රහාරය දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ කුරිරු බව විදහාපායි. එය කොටි සංවිධානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමකි” නිරායුධ සිවිල් වැසියන්, තරුණ හා වැඩිහිටි පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුකල මෙම ප්‍රහාරය එක්සත් ජනපදය හෙළා දකින බව ප්‍රකාශ කරනු ලැබීය.  

එල්ටීටීඊය හෝ එහි ආධාරකරුවන් විසින් කැබිතිගොල්ලෑව ප්‍රහාරය සිදුකළ බව ශ්‍රී ලංකා සටන් විරාම කමිටුව විසින් පවසා සිටින ලදි.

එවකට විධායක ජනාධිපති ලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම පිපිරුම සිදු වූ ස්ථානයට ගොස් ඇති අතර රෝහල්වල සිටි තුවාල ලැබූවන් බැලීමට පවා ගියහ.

මේ අතර, 2013 ඔක්තෝබර් 24 වන දින අනුරාධපුර මහාධිකරණය විසින් එල්ටීටීඊයේ හිටපු ත්‍රස්ත සැකකරුවෙකුට වසර 5 ක සිර දඩුවමක් නියම කළේ මෙම දරුණු අපරාධයට අනුබල දුන් බවට සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුවය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, වවුනියා - හොරාව්පොතාන ප්‍රධාන මාර්ගයේ වවුනියාව සිට ගිනිකොන දෙසින් සැතපුම් 23 ක් දුරින් කැබිතිගොල්ලෑව පිහිටා තිබේ.