සොල්දාදුවෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කල පුද්ගලයෙකු වෙඩි වැදී මිය යයි

ජුනි 22, 2020

යාපනය කිලාලි හි රාජකාරියේ යෙදී සිටි සෙබළෙකුගේ ගිනි අවිය උදුරා ගත් පුද්ගලයෙකු එම ගිනි අවිය සමග පලා යාමට තැත්කිරීමේදී ඉරිදා (ජූනි 21) දින දහවල් 1.30 ට පමණ වෙඩි වැදී මිය ගොස් ඇත.  

බිම් බෝම්බ අවධානම නිසා සිවිල් වැසියන් සඳහා ඇතුළුවීම තහනම් කර ඇති බෝම්බ ඉවත්කිරීමේ ප්‍රදේශයක් තුල නීති විරෝධී ලෙස වැලි ගොඩදැමීමේ යෙදී සිටි පුද්ගලයින් කණ්ඩායමක් නිරීක්‍ෂණය කල කිලාලි හි රාජකාරියේ යෙදී සිටි හමුදා සාමාජිකයින් එහි සිටි පුද්ගලයින් පරික්‍ෂා කර ඇත. සෝදිසි කිරීමේදී එහි සිටි පුද්ගලයෙකු සොල්දාදුවෙකුට පහරදී ඔහුගේ අවිය උදුරාගෙන හමුදා සෙබළුන් වෙත අවිය එල්ල කර එම ස්ථානයෙන් පලායාමට උත්සාහ කිරීමේදී ආත්මාරක්‍ෂාව උදෙසා එම සැකකරුට වෙඩි තබා ඇත.   

වෙඩි වැදුණු සැකකරු පසුව මියගොස් ඇත.  

නීතිවිරෝධී ලෙස වැලි කැණීම් සිදුකරන ලද ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරීම් වලදී වැලි ප්‍රවාහනය සඳහා භාවිතා කළ ට්‍රැක්ටරයක් එහි තිබු යතුරු පැදියක් සහ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ රථවාහන වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.