අනතුරකට පත් ධීවරයකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

පෙබරවාරි 17, 2019

නාවික හමුදාව විසින් ඊයේ (පෙබරවාරි 16) දින බහුදින ධීවර යාත්‍රාවක සිටි අනතුරකට පත් ධීවරයෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. පසුගිය පෙබරවාරි 07 වන දින ධීවර කටයුතු සඳහා ගාල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය ‘සංඛ I’ නැමැති බහුදින ධීවර යාත්‍රාවෙහි සිටි ධීවරයෙකු හදිසි අණතුරකට පත්වී ඇත. මෙම ධීවරයා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදී සිටියදී මෙසේ අනතුරට පත්ව තිබේ.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ මඟින් සිදුකරන ලද දැනුම් දීමකට අනුව, වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව රෝගියා රැ‍ගෙන ඒම සඳහා මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

සංඟමන් කන්ද ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 84 ක පමණ දුරකදී එම රෝගීයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවා ගත් නාවික හමුදාව, ඔහු නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව එම රෝගියා වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.