ආරක්‍ෂක සේවා විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද දින (06) සිට යළි ඇරඹේ

ජුලි 06, 2020

  • සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුව පාසලේ අධ්‍යයන කටයුතු සිදුකරනවා -  විදුහල්පති

මේජර් චන්දු බණ්ඩාර විසිනි

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙරට පාසල් තාවකාලිකව වසා දැමීමට ගත් තීරණයත් සමග අධ්‍යයන කටයුතු නවතා දැමූ ආරක්‍ෂක සේවා විද්‍යාලය දින 115 කට පසු අද දින (ජූලි 06) නැවත ආරම්භ කරන ලදි.

2020 මාර්තු මස 12 වන දින පාසල වසා දැමීමෙන් පසුව ආරක්‍ෂක සේවා විද්‍යාලයේ ආරක්‍ෂාව සහ පිරිසිදුතාවය පිළිබඳව ත්‍රිවිධ හමුදාව නිරන්තර විමසිල්ලෙන් පසුවූ බවත් අද දින (ජූලි 06) පාසැල නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කල බවත් ආරක්‍ෂක සේවා විද්‍යාලයේ පරිපාලන අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව් ආර් පළිහක්කාර පැවසීය.  

“පාසල ආරම්භ කිරීමට පෙර සියළුම ගුරුවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය වෙත සිය දෛනික කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර සියලු උපදෙස් ලබා දී තිබෙනවා,  සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශයන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව ඉගැන්වීමේ කටයුතු සිදුකර තියෙනවා” යැයි ද ඒ පිළිබඳ තමා ඇතුළු පාසලේ සියලුම කාර්යය මණ්ඩලය දැඩි ලෙස විමසිලිමත් වී ඇතැයි ද ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති නිරෝෂන් ඕපාත මහතා defence.lk වෙත පැවසීය.

නිවාඩු කාලසීමාව තුල ඉලෙක්ට්‍රොනික මාධ්‍ය මගින් 6 වසර සිට 13 වසර දක්වා සහ 5 වසර ශිෂ්‍යත්වයට මුහුණ දෙන සිසුන් සඳහා ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදුකල බවත් පාසල් සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් වලට අනුව 5, 11 සහ 13 වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද සිට පාසලට පැමිණ සිය අධ්‍යාපන කටයුතු වල නිරත වන බවත් හෙතෙම පැවසීය.   

අධ්‍යාපන කටයුතු මෙන්ම දරුවන්ගේ සෞඛ්‍යාරක්‍ෂාව ඉතාමත් වැදගත් බැවින් දරුවන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් අනුව ක්‍රියා කරවීමට කටයුතු කරවමින් අනුගමනය කල යුතු මුහුණු ආවරණ පැලදීම, අත් සේදීම, දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී සෞඛ්‍ය පුරුදු පිළිබඳ දරුවන්ගේ සිත් තුලට කා වදින ආකාරයෙන් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙලක්ද විද්‍යාලය තුළ ක්‍රියාත්මක වේ.   

“දෙමාපියන් සඳහා ද උපදෙස් ලබාදී ඔවුන් ද දැනුවත් කිරීමට කටයුතු සිදුකර ඇති නිසා මෙම සියලු කාර්යයන් සාර්ථකව සිදුකර ගැනීමට හැකි වී තිබෙනවා.”  ඕපාත මහතා සඳහන් කලේය.  

අධ්‍යයන කටයුතු වල නිරත වීමේදී දුරස්ථභාවය තබාගෙන සෞඛ්‍ය ආරක්‍ෂිතව පන්ති කාමර සකස් කර ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට ගුරු මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය ක්‍රියාකරන බව විදුහල්පතිවරයා පවසා සිටියේය.   

අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් අනුව අදියර හතරක් යටතේ පාසල් ආරම්භ වීම සිදුකෙරෙන අතර එහිදී පළමු අදියර ලෙස පසුගිය 29 වන දින විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද දෙවන අදියර ලෙස අද (ජූලි 06) දින 5, 11 සහ 13 වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසැල් වෙත පැමිණි අතර තෙවන අදියර ලෙස 10 සහ 12 වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද හතරවන අදියර ලෙස 3, 4, 5, 6, 7, 8, සහ 9 ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද පැමිණීමට නියමිත අතර පළමු සහ දෙවන වසර සඳහා අගෝස්තු 10 වන දින පාසැල් ආරම්භ කිරීමට තීරණය කර ඇත.  

ඡායාරූප / විඩියෝගත කිරිම : සැරයන් ජයවර්ධන සහ කෝප්‍රල් ඩයස්