කොරෝනා වෛරස් ආසාදිතයින් පිළිබඳව අසත්‍ය තොරතුරු පතුරවන්නන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි

ජුලි 11, 2020

සමාජ මාධ්‍යජාලා වල කොරෝනා වෛරස් ආසාදිතයින් හා සංඛ්‍යාලේඛන පිළිබඳ කටකතා සහ අසත්‍ය තොරතුරු පතුරවන පුද්ගලයින්ට එරෙහිව පොලීසිය විසින් දැඩි පියවර ගනු ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසා සිටියේ මහජනයා නොමඟ යවන කරුණු සහ සමාජ මාධ්‍ය ජාලාවල පළ කර ඇති සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් පොලිසිය වෙත ඇති බවත් එවැනි කටකතා පතුරවන්නන්ට එරෙහිව පොලීසිය දැඩි පියවර ගන්නා බවයි.

මේ අතර, එවැනි ව්‍යාජ තොරතුරුවලින් නොමඟ නොයන ලෙසත්, COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින්  කොරෝනා ආසාදිතයින් පිළිබඳ නිකුත් කරන නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.