මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගයේ දී අත්විඳීමට හැකි වනු ඇති බව ජනපති පවසයි.

පෙබරවාරි 22, 2019

2019 වසරේ දකුණු පළාතේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කිරිමට රුපියල් මිලියන 423 ක්

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන පුළුල් සහ ශක්තිමත් වැඩපිළිවෙළ ඊට හේතු වී ඇති බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (21) පෙරවරුවේ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පැවති ග්‍රාමශක්ති දකුණු පළාත් මෙහෙයුම් කමිටුව අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දිළිදුකමින් පීඩාවිදින ජනතාව ඉන් මුදාගෙන ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථිකය ඉහළනැංවීම ග්‍රාමශක්ති වැඩපිළිවෙළේ අරමුණ බවයි.

මත් උවදුර පාලනය ඇතුළු ජනතාව දිළිදුකමට ඇද දමන සියලු තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් ශක්තිමත් ආර්ථිකයක් සහිතව ස්වශක්තියෙන් නැගී සිටින ජාතියක් ගොඩනැගීමට ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මඟින් මේ වන විට පුළුල් වැඩකොටසක් ඉටුවෙමින් තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ග්‍රාමීය දිළිඳු ජනතාව මහත් පීඩාවකට ලක් කර ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව පිළිබඳව ද ඉදිරියේ දී රජයේ මැදිහත්වීම සිදුකරන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ විශේෂ සතියක් ද ප්‍රකාශයට පත් කොට එම වැඩසටහන් වේගවත් කිරීමට මේ වන විට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

ග්‍රාමශක්ති වැඩසටහන මෙම වසරේ දකුණු පළාත තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 428 කි. එකළොස් ලක්ෂ දහතුන් දහස් තුන්සිය හතළිස් පහක(11,13,345) ජනතාවක් ජීවත්වන ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට දරිද්‍රතා දර්ශකය 2.9% කි. අට ලක්ෂ පනස් එක් දහස් තුන්සිය තිස් හතක් (8,51,337) ජීවත්වන මාතර දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය 4.4% ක් වන අතර හයලක්ෂ හතළිස් හයදහස් හාරසිය අනු තුනක් ජීවත්වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය 1.2% කි.

දරිද්‍රතාවයෙන් පෙළෙන මෙම ජනතාව ඉලක්ක කර ගනිමින් ග්‍රාමශක්ති වැඩසටහන මෙම වසරේ දකුණු පළාත් තුළ විධිමත් සහ කාර්යක්ෂම අන්දමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා වෙන් කර ඇති සියලු ප්‍රතිපාදන නිසි ලෙසම එම ජනතාව වෙනුවෙන් යෙදවීමේ වැදගත්කම ද පැහැදිලි කළේය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මෙතෙක් දකුණු පළාත් තුළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම වනසතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි, කැළි කසළ බැහැරකිරීමේ ගැටලුව ඇතුළු පළතේ ජනතාව මුහුණ දී තිබෙන සෙසු ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

මේ අතර සුල්තානාගොඩ දකුණ ග්‍රාමශක්ති සමිතිය සහ ජපන් සමාගමක් අතර ගිවිසුමකට අත්සන් තැබුණේ එම ග්‍රාමශක්ති සමිතිය මගින් නිෂ්පාදනය කරන එළවළු සහ පළතුරු මිලදී ගැනීමට අදාළවයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, දිලීප් වෙදආරච්චි, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහ ග්‍රාමශක්ති සමිති නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මේ අතර තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජාපාලිත ගම්මානය වන ජුල්පල්ගම ග්‍රාම නිලධාරි වසමේ ද සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා එහි ජනතා ගැටලු පිළිබඳ සොයා බැලීය.

පානීය ජල ගැටලුව, මාර්ග සංවර්ධනය, පාසල් සඳහා පහසුකම් ලබා ගැනීම, සනීපාරක්ෂක ගැටලු, වන අලි ගැටලුව ඇතුළු ප්‍රදේශයේ ජනතාව මුහුණපා සිටින ගැටලු කිහිපයක් පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණු අතර එම ගැටලු කඩිනමින් විසඳා දෙන බවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ජනාධිපතිතුමා ඉදිරියේ එකඟතාවය පළ කළේය.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට සමගාමිව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් තිස්සමහාරාම ප්‍රදේශයේ පාසල් 04 ක් සඳහා ලබාදුන් ත්‍රිවිල් රථ නිල වශයෙන් එම පාසල් වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජුල්පල්ලගම වසමේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව දුම්වැටි අළෙවියෙන් ඉවත් වූ වෙළෙඳ සැල් 08 ක් ඇගැයිමට ලක් කරමින් ඇගැයීම් සහතික ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

තිස්සමහාරාම කාවන්තිස්සපුර මහා විද්‍යාලයේ සිසු දරුවන් විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් ද පිළිගැන්වීය.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය