විශේෂ කාර්ය බලකාය වලස්මුල්ල ප්‍රදේශයේදී හමුදා නිල ඇඳුම්, ආයුධ සහ පතොරම් තොගයක් සොයා ගනී

ජුලි 21, 2020

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳුදා දින (ජූලි 20) වලස්මුල්ල ප්‍රදේශයේදී සිදුකරන ලද මෙහෙයුමකදී හමුදා නිල ඇඳුම්, ආයුධ සහ ජීව පතොරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන පරිදි මෙම වැටලීම තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සිටි සෙබළුන් විසින් සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් 58 හැවිරිදි සැකකරු පාතාල අපරාධකරුවෙකු වන ‘බැරල් සුනිල්’ ගේ සමීපතමයෙකි.

වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ නිවසක තිබී විදෙස් රටක නිෂ්පාදිත අත් බෝම්බයක්, දේශීයව නිෂ්පාදිත රයිෆලයක්, T-56 ජිව පතොරම් 103 ක්, පුහුණු පතොරම් 21  ක්, කඩු  02 ක්, පිහියක්, යුද්ධ හමුදා කැලෑ නිල ඇදුම් 05 ක්, කැලෑ නිල ඇදුම් රෙදි, යුද්ධ හමුදා හිස්වැසුම් 08 ක්, කොළ පැහැති සම්පූර්ණ නිල ඇඳුම් 08 ක්, සංග්‍රාමික ටී ෂර්ට් 05 ක්, යුද්ධ හමුදා කෑම පෙට්ටි 05 ක් සහ යුද්ධ හමුදා නිල ලාංඡන ඇතුළු මෙම භාණ්ඩ තොගය සොයා ගෙන තිබේ.