කහ කිලෝ 6,381 ක් මුහුදු මගින් රැගෙන ඒමට දැරූ උත්සාහයක් නාවික හමුදාව විසින් ව්‍යර්ථ කෙරේ

අගෝස්තු 12, 2020

බටහිර මුහුදු ප්‍රදේශය හරහා මෙරටට හොර රහසේ ගෙන ඒමට උත්සාහ කල කහ කිලෝ 6,381 ක් සමඟ සැකකරුවන් 13 දෙනෙකු ඊයේ දින (අගෝස්තු 11)  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් හලාවත සිට නාවික සැතපුම් 10 ක් පමණ දුර මුහුදේදී කහ තොගය සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, හලාවත නගරයේදී කුඩා වෑන් රථයක් සහ රුපියල් මිලියන 2.2 ක් සමඟ මීට සම්බන්ධ පුද්ගලයින් නව දෙනෙකු පොලීසිය සහ ප්‍රාදේශීය වෙරළාරක්‍ෂක බලකා සාමාජිකයින් සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 27 ත් 66 ත් අතර වයස්වල පසුවන කටුගස්තොට, මහනුවර, බේරුවල සහ තොඩුවාව යන ප්‍රදේශවල පදිංචි මෙම ජාවාරම්කරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා හලාවත පොලිසිය වෙත භාරදී තිබේ.

ගෝනිවල ඇසුරුම් කර තිබූ කහ තොගය පරීක්‍ෂණ සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දී තිබේ.

පළමුව මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා විදෙස් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට සැක කෙරන අතර සැකකරුවන් සිව්දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කර ඇත.

මන්නාර වෙරළ තීරයේදී කහ කිලෝ 1000 ක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක්ද මිට පෙර ජුලි 28 වන දින වාර්තා විය.