රාජ්‍ය ආයතනවල දූෂිත නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග - ආරක්ෂක ලේකම්

අගෝස්තු 19, 2020
  • පොලිස් සේවය ජනතාවට සාධාරණ සේවාවක් විය යුතු බව පවසයි
  • මහජනතාව සඳහා සුරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීම ජාතික ආරක්ෂාවේ කොටසක් බව පවසයි

දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට අනතුරු අඟවූ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ රාජ්‍ය ආයතනවල කැපවීමෙන් සේවය කරන නිලධාරීන් බොහෝ දෙනෙකුගේ යහපත් ක්‍රියාවන්  අවදානමට ලක්ව ඇත්තේ ඔවුන් අතර දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු සිටින නිසා බවයි.

“ඔවුන්ගේ කැපවීම ඵල රහිත වී ඇත,” රාජ්‍ය අංශය දූෂණ වලින් තොර හා කාර්යක්ෂම කිරීමට රාජ්‍ය ආයතනවල දූෂණයෙන් තොර කරන අතරම සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් මැඩපැවැත්විය යුතු බවද  ඔහු පැවසීය.

අද පෙරවරුවේ (අගෝස්තු 19) ගාල්ල හෝල් ඩි ගෝල් හෝටලයේ දී පොලිස් කොට්ඨාශවල ප්‍රගතිය පිලිබදව කරුණු ඉදිරිපත් කිරීම සඳහා සංවිධානය කරන ලද උත්සවයකදී දකුණු පළාතේ පොලිස් නිලධාරීන් අමතමින් රාජ්‍ය අංශය දූෂණයෙන් තොර  කරන බවට ප්‍රතිඥා දුන් ආරක්ෂක ලේකම්, නිලධාරීන් මුහුණ දී ඇති දුක්ගැනවිලි විසඳීමට කටයුතු කරන බවද පැවසීය.
 
ශ්‍රී ලංකා පොලීසිය බොහෝ කැපකිරීම් සිදු කර ඇති අතර ඔවුන් විසින් සිදු කල සේවය වෙනුවෙන් ප්‍රශංසාවට ලක්වී ඇති නමුත් රටේ වත්මන් පොලිස් සේවය සම්බන්ධයෙන් සහ ජනතාවගේ අපේක්ෂාවන් පිලිබඳව නැවත සිතා බැලිය යුතු බව ඔහු සඳහන් කරන ලදි.
 
“පොලිස් සේවය නිසා රටක ජනතාවට ඔවුන් ආරක්ෂිත බව දැනෙනවා. පොලීසිය නොමැතිව රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට නොහැකි වනු ඇත. එබැවින් සාධාරණ හා සාමකාමී සමාජයක් ළඟා කර ගැනීම සඳහා පොලිසිය දූෂණයෙන් තොර විය යුතුයි” මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.
 
මේ අතර, ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස්, සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන්  පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය දා සිදුකළ දායකත්වය ආරක්ෂක ලේකම්වරයාගේ පැසසුමට ලක්විය.

මේ රටේ ආරක්ෂාව සහතික කිරීම සහ නැවත ස්ථාපිත කිරීමේ අපේක්ෂාවෙන් ජනතාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  තෝරා පත් කර ගත් බව ඔහු පැවසීය.

“අප ආරක්ෂාව යනුවෙන් අදහස් කරන විට එයට විවිධ පැතිකඩයන් තිබෙන අතර ඒවා එක්ව ගත් කල ජාතික ආරක්ෂාව ලෙස හැඳින්වේ. ජාතික ආරක්ෂාව සහතික කිරීමේ පළමු වගකීම වන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් ආරක්ෂාව සැපයීම, දෙවනුව විය හැකි බාහිර ආක්‍රමණ සහ තෙවනුව ස්වාභාවික විපත් හා වසංගත ආදියෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම ආදිය වේ” ජනතාව සඳහා සුරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීම ද ජාතික ආරක්ෂාවේ කොටසක් බව ඔහු පැහැදිලි කළේය.
 
දේශපාලන මැදිහත්වීම්වලින් තොරව පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරි ඉටු කරන ලෙස මහජනතාවගෙන් විශාල වශයෙන් ඉල්ලීම් කරන බව ඔහු පැවසීය.
 
දකුණු පළාතේ සමහර පොලිස් කොට්ඨාශ සහ පොලිස් ස්ථානවලට එරෙහිව එල්ල වී ඇති ඇතැම් චෝදනා සම්බන්ධයෙන් සඳහන් කල මේජර් ජෙනරාල් ගුණරත්න, මහජනතාවට සාධාරණ සේවාවක් සැපයීම සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා යුතුකම් හා වගකීම් ඉටු කිරීමේදී ගත යුතු පියවර හා ඊට අනුගත වීමේ  අවශ්‍යතාවයද අවධාරණය කළේය.
 
පොලිස් කොට්ඨාශවලට සහ  පොලිස් ස්ථානවලට එරෙහිව ලැබෙන මහජන පැමිණිලි, පෙත්සම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සහ පසු විපරම් කිරීම සඳහා සති කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක වන නව යාන්ත්‍රණය පිළිබඳවද ඔහු අනාවරණය කළේය.
 
“අදාළ පොලිස් කොට්ඨාශ සහ පොලිස් ස්ථාන පිළිබඳ ලැබෙන පැමිණිලි සඳහා වෙනම ලිපිගොනු විවෘත කෙරෙන අතර, එම පැමිණිලි විමර්ශනය කිරීම මාසිකව සිදු කරමින්  ඒවායේ  ප්‍රගතිය තක්සේරු කිරීම සිදු කරනවා. එම පැමිණිලි විසඳීමට පියවර ගැනීමට අපොහොසත් වන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට එරෙහිව අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා” ඔහු පැවසීය.
 
දක්ෂිණ අධිවේගී මාර්ගය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රධාන හුවමාරු මාර්ගයක් බවට පත්ව ඇති බවත් පිවිසුම් ස්ථානවලදී රාජකාරි සඳහා රථවාහන පොලිස් නිලධාරීන් පමණක් දැක ගත හැකි වීම පුදුමයක් බව මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.
 
අදාළ ප්‍රදේශවල පොලිස් බුද්ධි ජාලයක් ඇති කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, නීතිවිරෝධී ආයුධ සංසරණය, ඉඩම් අත්පත් කර ගැනීම් සහ අදාළ ප්‍රදේශවල අපරාධ සම්බන්ධව වඩාත් දැඩි ලෙස ක්‍රියා කළ යුතු බවද පැවසීය
 
සිරගෙවල්වල සිට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය තුරන් කිරීම සඳහා මෑතකදී ගත් ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ එහි ප්‍රතිඵලයක්  ලෙස වැලිකඩ බන්ධනාගාරය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වලින් තොර කිරීමට හැකි වූ බවයි.
 
“සමාජයේ වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන යා යුතුය. ආරක්ෂක අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි අභිලාෂයෙන් යුක්තව කටයුතු කරනවා” ඔහු පැවසීය.
 
මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ සිල්වා යන අය මෙම අවස්ථාවට සහභාගී වූහ.