නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මාර්තු 11, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සෙනසුරාදා (මාර්තු 09) දින මුහුදේදී දැඩි ලෙස රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

ත්‍රිකුණාමලය, ධීවර වරායෙන් මෙම මස මුලදී (මාර්තු 05) ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘රන් පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙසේ හදිසියේ රෝගී වී ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, පවුල් තුඩුවට නාවික සැතපුම් 73 ක් පමණ වූ දුරක සිටි රෝගියාව රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය, මහ රෝහල වෙත යොමු කරන ලදී.