නාවික හමුදාව සහ ගුවන් හමුදාව තවදුරටත් MT New Diamond නෞකාවේ පවතින ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටී

සැප්තැම්බර් 08, 2020

නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ පවතින සුළං සහිත කාලගුණික තත්ත්වයන් සහ අඛණ්ඩ ගිනි නිවීමේ මෙහෙයුම් මධ්‍යයේ වියළි රසායනික කුඩු නෞකාව වෙත හෙලීමත් සමඟ MT New Diamond යානයේ ඇතිව තිබෙන ගින්න විශාල වශයෙන් පාලනය කර ඇති බවයි.

කපිතාන් ද සිල්වා පැවසුවේ බොරතෙල් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු අද (සැප්තැම්බර් 8) හම්බන්තොට වරායට ගෙනැවිත් ඇති අතර ඔවුන් පිටත්ව යන විට PCR පරීක්ෂණ සඳහා ද යොමු කරවූ බවයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔවුන් හුදෙකලා ස්ථානයකට මාරු කර යවා ඇති බවයි.

MT New Diamond නෞකාව දිවයින දෙසට ඇදී යාම වළක්වමින් ටග් යාත්‍රාවක් භාවිතයෙන් නාවික සැතපුම් 28 කට වඩා වැඩි දුරක රඳවා තබා ඇති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 212 හෙලිකොප්ටරයක් භාවිතා කරමින් වියළි රසායනික කුඩු කිලෝ 500 කට වැඩි ප්‍රමාණයක් අද දිනයේදී නෞකාව මතට දමා ඇති බවයි.