තෙල් නෞකාවේ තත්වය තක්සේරු කිරීම සඳහා කිමිදුම් මෙහෙයුම් - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

සැප්තැම්බර් 11, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව තෙල් නෞකාවේ ගලවාගැනීමේ මෙහෙයුම සඳහා පත්කරන ලද විශේෂඥයින් සමඟ එක්ව නෞකාවේ පතුලේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කිමිදුම් මෙහෙයුමක් සඳහා සූදානම් වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය දර්ශනී ලහදපුර අද (11) පැවසීය.

එහිදී යාත්‍රාව ඇදගෙනයාමේ හැකියාව පිළිබදවද සලකා බලනු ඇති බවත් ඇය defence.lk වෙත පැවසීය.

“නීතිමය අංශ පිළිබඳ සාකච්ඡා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ පැවැත්වුණා” ඇය පැවසීය.

ආපදාවට පත් නෞකාව මේ වන විට කල්මුණේ තුඩුවේ සිට නාවික සැතපුම් 45 ක් පමණ දුරින් පිහිටා ඇති බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.

මුහුදේ රළු ස්වභාවය මධ්‍යයේ වුවද අඛණ්ඩ මෙහෙයුම් සිදුකරන බව ඔහු පැවසීය.

නෞකාවේ එන්ජින් කාමරය හා පොම්පාගාරය ඇතුළු කොටස් මුහුදු ජලයෙන් පිරී ගොස් නෞකාව සාමාන්‍ය පිහිටීමෙන් වෙනස්ව පිටුපසට බරව ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මේ අතර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඊයේ (10) ත්‍රිකුණාමල වරායේ සංචාරයක නිරත වෙමින් ඉන්දීය වෙරළාරක්ෂක  ‘අමේයා’ (Ameya) නෞකාවේ  අණදෙන නිලධාරි වෙත සිය කෘතඥතාවය පළ කළේය.