ගිං ගඟේ සිරවී තිබූ සුන්බුන් නාවික හමුදාව ඉවත් කරයි

සැප්තැම්බර් 24, 2020

වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්වය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව  විසින් ඊයේ ගාල්ල ගිං ගඟේ දොඩන්ගොඩ සහ වක්වැල්ල අතර පිහිටි පටු  පාලම්  යට සිරවී තිබු සුන්බුන් ඉවත් කර තිබේ.

සුන්බුන් පාලම යට සිරවී තිබීම නිසා සාමාන්ය  පරිදි ජලය ගලා යාම අවහිර වී අවට පහත් ප්‍රදේශවලට ගංවතුර තර්ජනයක් ඇති විය හැකිව තිබුණි.

දකුණු නාවික විධානය භාර ආඥාපති කොමදෝරු ප්‍රියන්ත පෙරේරාගේ  උපදෙස් මත දකුණු නාවික විධානයේ භට පිරිස් යොදවා ජල අවහිරතාවය නාවික හමුදාව විසින් මග හරවා  තිබේ.

නාවික හමුදාවට අනුව, මෙම වසර තුළ (2020) අඛණ්ඩව නවවැනි වරටත් වක්වැල්ල සහ දොඩන්ගොඩ අතර පිහිටි පාලම්වල සිරව තිබූ  සුන්බුන් ඉවත් කර ඇත.

නිරිතදිග මෝසම් හේතුවෙන් සිදුවිය හැකි අනපේක්ෂිත සිදුවීම් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා භට පිරිස් සූදානමින් පසුවන බව නාවික හමුදාව  පැවසීය.