කර්මාන්තශාලා හිමියන් සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ පිළිපැදිය යුතුයි

ඔක්තෝම්බර් 14, 2020

සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශ හා පූර්වෝපායන් දැඩි ලෙස පිළිපදින ලෙසත් ඔවුන්ගේ සේවකයින් සමාජයේ බාහිර පුද්ගලයින්ට නිරාවරණය නොවන බවට සහතික විය යුතු  බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් සියළුම ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ට සහ සමාගම් කළමනාකරණ නියෝජිතයින්ට දැනුම් දෙන ලදී.

කොවිඩ් 19  පැතිරීම  වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ  ඊයේ (ඔක්තෝබර් 13) දින ඇඟලුම් කර්මාන්තශාලා හිමියන් සහ සමාගම් කළමනාකරණ නියෝජිතයන් සමඟ රැස්වීමක් කැඳවා සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් වර්තමාන සමාජයේ වෛරසයේ වර්ධනය පිළිබඳව ගැඹුරින් ඇගයීමට ලක් කිරීම, වෛරසය බාහිර සමාජයට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා හදිසි වැළැක්වීමේ ක්‍රියා පටිපාටි සහ රටපුරා කර්මාන්තශාලා සහ කාර්යාලවල අනුගමනය කළ යුතු හදිසි ක්‍රියාකාරී සැලැස්ම යන කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, කොවිඩ් 19  පැතිරීම  වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ  ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  මෙම අවස්ථාවට සහභාගී වූහ.

සේවකයින් සඳහා අවම වශයෙන් දිනකට තුන් වතාවක් උෂ්ණත්වය පරීක්ෂා කිරීම, ඔවුන්ගේ නවාතැන්, සමීපතමයින්   පරීක්ෂා කිරීම සහ පොදු ස්ථාන වලට යාම්,  ප්‍රවාහන තදබදය අවම කිරීම සඳහා වැඩ කරන වේලාවන් සහ වැඩ මාරුවීම් නිරන්තරයෙන් වෙනස් කිරීම, ආහාර සැපයීම ආදිය, අත්‍යාවශ්‍ය තොරතුරු සහිත සේවකයින්ගේ නිවැරදි ලිපින යාවත්කාලීන කිරීම සහ සම්බන්ධතා සොයා ගැනීමට සහයෝගය ලබාදීම වැනි කරුණු පිළිබඳව ක්‍රියාත්මක කිරීමට  මෙම රැස්වීමේදී කර්මාන්තශාලා හිමියන්ට දැනුම් දෙන ලදී.

සියලු යාවත්කාලීන කිරීම් සහ අවශ්‍ය මාර්ගෝපදේශ ලබාගැනීම සදහා අදාළ සෞඛ්‍ය බලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වසංගත රෝග විද්‍යාඥයින් සමඟ සම්බන්ධව කටයුතු කරන ලෙසට ද ඔවුන්ට උපදෙස් දෙන ලදී.