නීති විරෝධී ආකාරයෙන් කරයුතු කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

මැයි 17, 2019

මේ රටේ සාමය හා සහජීවනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අප විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කිරීමට මම කැමතියි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රටේ ගුවන් කලාපය ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, පසුගිය දිනවල සිදුවූ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අප ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙක වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ආරක්‍ෂාව සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර ගෙන ඇත. අප විසින් පොදු ජනතාවගේ සාමය හා සහජීවන යථා තත්ත්වයට පත්කිරීම උදෙසා සහ ආගමික භේදයකින් තොරව බෞද්ධ, මුස්ලිම්, හින්දු හෝ ක්‍රිස්තියානි යන සියලුම ආගමික ස්ථානවලට ද ආරක්‍ෂාව ලබාදීම සඳහා යුද්ධ හමුදාව, නාවික හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව අවශ්‍ය කටයුතු සිදුකර ඇති අතර, පාසල් දරුවන් හට කිසිඳු බියකින් තොරව තම අධ්‍යාපනික කටයුතු සිදුකර ගැනීම සඳහා පාසල්වල ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට කටයුතු කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා බ්‍රහස්පතින්දා (මැයි 16) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාවලින් පසු දිවයිනේ ජාතින් අතර සාමය හා සමගිය බිඳ වැට්ටවීමේ කටයුතු වල නිරතව සිටින පුද්ගලයන් පිළිබඳව ගුවන් හමුදාව විසින් නිරන්තරයෙන් නිරීක්‍ෂණය කරනු ලබන අතර, මෙසේ අනවශ්‍ය ක්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ගුවන් හමුදාව පසුබට නොවන බවද ඔහු සඳහන් කළේය. එසේම, අප සියලු දෙනා නැවත එකට එක්වී අප ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකල යුතු බවට ද එතුමන් වැඩිදුරටත් ඉල්ලා සිටින ලදී.