නාවික හමුදාව තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ජුලි 12, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි 11) දින මුහුදේදී බරපතල තුවාල ලැබූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. පසුගිය සතියේ (05) දින ගාල්ලේ සිට ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘තනූජා දුව III’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මුහුදේදී තවත් බෝට්ටුවකට නැඟීමට උත්සාහ කිරීමේදී ඇද වැටීමෙන් තුවාල සිදුවී ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ දැනුම් දීමට අනුව නාවික හමුදාව, එම අසාධ්‍ය රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් (FAC) පිටත් කර යවා ඇත. හම්බන්තොට ධීවර වරායේ සිට නාවික සැතපුම් 121 ක් පමණ වූ දුරකදි රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව හම්බන්තොට වරාය වෙත රැගෙන එන ලද අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කඩිනමින් හම්බන්තොට මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත. රෝහල් වෛද්‍යවරුන් විසින් රෝගියා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම රෝගියා මිය ගොස් ඇති බව ප්‍රකාශ කර ඇත