මහජන ආරක්‍ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් පවසයි

මැයි 12, 2019

අප්‍රේල් 21 වන දා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සියලුම පාර්ශව, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව රටපුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන රටේ පැවති තත්ත්වය සාමාන්‍ය අතට පත්කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. දිවයිනේ සියලුම පාසල්, පූජනීය ස්ථාන, සංචාරක ස්ථාන, සංචාරක හෝටල් සහ මහජනතාව රැස්වන ස්ථානයන් සඳහා පැය 24 පුරාම ආරක්‍ෂාව ලබාදීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කටයුතු සිදුකර ඇති බැව් ඔහු වැඩිදුරටත් පැවසීය. සමාජ මාධ්‍ය හරහා පතුරුවන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසද ඔහු මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශය එක්ව ත්‍රස්තවාදී කණ්ඩායමට එරෙහිව ඉතා සාර්ථකව මෙහෙයුම් දියත් කරමින් සිටින බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්‍ෂක අමාත්‍යංශයේ දී පැවසීය. මෙම ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීගෙන් බොහොමයක් මියගොස් ඇති අතර, ඔවුන්ගේ ආධාරකරුවන් වැඩි පිරිසක් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොදු ජනතාවට භීතියකින් තොරව තම එදිනෙදා වැඩ කටයුතු සාමාන්‍ය පරිදි ඉටු කරගත හැකි බවත්, මේ වන විටත් ක්‍රියාත්මක වන ආරක්‍ෂක පියවරයන් ඉදිරියේදී ද ඒ අයුරින්ම මහජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාත්මක වන බවත් එතුමන් වැඩිදුරටත් පැවසිය.