නාවික අණ නොතකා ධාවනය කල වාහන සඳහා වෙඩි තබා ඇත

මැයි 12, 2019

වත්තල හුනුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබු නාවික හමුදා මුර පොලක අණ නොතකා ධාවනය කල මෝටර් රථයක් වෙත වෙඩි තැබීමට එම මුරපොලෙහි සේවයේ නියුතු නාවික හමුදා භටපිරිස් කටයුතු කර ඇත. සැකකටයුතු වාහනයක් පිළිබඳව ලද තොරතුරකට අනුව නාවික හමුදාව විසින් වත්තල දුම්රිය හරස් පාර අවට මාර්ග බාධක තුනක් ස්ථානගත කර තිබේ. ඇවරියවත්ත, වත්තල සහ හුණුපිටිය යන මාර්ග ආවරණය වන පරිදි මෙම මාර්ග බාධක ස්ථානගත කරන ලදී. සෙනසුරාදා (මැයි 11) අලුයම 1.00 ට පමණ අදාළ වාහනය හුණුපිටිය දෙස සිට පැමිණ ඇති අතර, මාර්ග බාධකය වෙතින් එය නතර කිරීමට නියෝග කෙරිණි. එහිදී මෙම සැකකටයුතු වාහනයේ රියදුරා විසින් රාජකාරියෙහි නිරත නාවික සෙබළුන් ද යටකිරීමට උත්සාහ කරමින් තම රථය ඉදිරියට ධාවනය කර තිබේ. මෙහිදී එම ස්ථානයේ සේවයේ නියුතු නාවික භටයින් විසින් අදාළ වාහනයට වෙඩි තබා තිබේ.
මෙහිදී තුවාල ලැබූ එම රටයේ රියදුරා වත්තල පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇති අතර සිදුවූ තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇත. අදාළ රියදුරු වත්තල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ. මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

තවත් මෙවැනිම සිදුවීමක් එම ප්‍රදේශයේදීම අලුයම 1.50 ට පමණ සිදුවිය. නාවික හමුදා මාර්ග බාධකයෙහි අණ නොතකා ධාවනය කල තවත් මෝටර් රටයක් වෙත නාවික හමුදා භටපිරිස් වෙඩි තබා තිබේ. මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර මෙටර් රථයට හානි සිදුවී ඇත. මෙහි රියදුරු මත්පැන් පානය කර ඇති බව පසුව අනාවරණය විය. ඔහු අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සෙනසුරාදා (මැයි 11) දින පස්වරුවේ කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

තමන් සතුව නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය ඇත්නම් ඒවා බලධාරීන් වෙත භාරදීම සඳහා මැයි මස 11 වන දින පෙ.ව. 06.00 සිට 14 වන දින පෙ.ව. 06.00 දක්වා දින තුනක සහන කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. වලංගු අවසරයකින් තොරව එවැනි පුපුරණ ද්‍රව්‍ය හිමිකරගෙන ඇත්නම් හෝ නීති විරෝධී අයුරකින් එම ද්‍රව්‍ය තමන් සතු කරගෙන ඇත්නම් එවැනි ඕනෑම අයෙකුට ළඟම ඇති පොලිස් ස්ථානයෙහි ස්ථානාධිපති වෙත හෝ ප්‍රජා පොලිස් කමිටුවේ නිලධාරීන් වෙත දැනුම් දිය හැකිය. ඉන්පසු පොලිසිය විසින් එම පුපුරන ද්‍රව්‍ය රැගෙන යාමට කටයුතු කරනු ඇත. දැනටමත් සියලුම පොලිස් ස්ථානවෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තම දෙමාපියන් අහිමි වූ අවතැන්වූ දරුවන්ගේ තොරතුරු රැස් කිරීම සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මේ වනවිට කටයුතු කරමින් සිටී. මෙම දරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරිපියවර ගනු ලබයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක වෙත ලබාදිය හැකිය.

011 244 44 44

011 233 70 39

011 233 70 41

2018 නොවැම්බර් මස 30 වන දින වව්නතිවු පොලිස් මුරපොලේදී පොලිස් භටයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්භන්ධයෙන් මූලිකවම අත්අඩංගුවට ගත් සැකකරු සෙනසුරාදා (මැයි 11) දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදී කණ්ඩායම්වල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. වව්නතිව් මුරපොලේදී ඝාතනය වූ පොලිස් නිලධාරින් දෙදෙනා සතුව තිබු රාජකාරි රිවෝල්වර් දෙක සහ එම උණ්ඩ, අත්අඩංගුවට ගත සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.