ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික රැස්වීම 2020 නොවැම්බර් 27 සිට 28 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

නොවැම්බර් 26, 2020

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන  ජාතික ආරක්ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුව

 

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක  උපදේශක ත්‍රෛපාර්ශ්වික  රැස්වීම 2020 නොවැම්බර් 27 සිට 28 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ආරාධනයෙන් ඉන්දිය ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් සහ මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍ය ගරු මාරියා දීදි විසින් ත්‍රෛපාර්ශ්වික රැස්වීමට සහභාගී වන ජ්‍යෙෂ්ඨ  මට්ටමේ නියෝජිතයින් මෙහෙයවනු ඇතැයි අපේක්ෂා කෙරේ. බංග්ලාදේශය, මොරිෂස් සහ සීෂෙල්ස් යන රටවලින් නිරීක්ෂකයින්  සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය සීමාවන් පිළිබඳ දැනුවත්භාවය, නීතිමය තන්ත්‍රයන්, පුහුණුව, සෙවීම සහ ගලවා ගැනීම, සමුද්‍ර දූෂණයට ප්‍රතිචාර දැක්වීම, තොරතුරු හුවමාරු කර ගැනීම, මුහුදු කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය, ආයුධ සහ නීතිවිරෝධී ජාවාරම් මර්ධනය ඇතුළු පුළුල් පරාසයක විෂයයන් ආවරණය වන පරිදි ඉහළ මට්ටමේ සාකච්ඡා සැලසුම් කර ඇත්තේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සාමූහික ක්‍රියාමාර්ගයක් දියත්  කිරීම සඳහා ය.

2014 දී නවදිල්ලියේ පැවති අවසන් රැස්වීමෙන් වසර හයකට පසු මෙම රැස්වීම කැඳවා තිබෙන අතර ඊට පෙර පිළිවෙලින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සමුළු දෙකක් පැවැත්විණි. ත්‍රෛපාර්ශ්වික රැස්වීමට සමගාමීව නියෝජිත ප්‍රධානින්  අතර ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීමට ද නියමිතය.