15,815ක් කොරෝනා වෛරසයෙන් සුවය ලබයි

නොවැම්බර් 27, 2020

අද (27)  උදෑසන 6.00 න් අවසන් වූ පසුගිය පැය 24 තුළ තහවුරු කර ගත් කොරෝනා ආසාදිතයින් 559 ක් සමඟ දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,027 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 553 ක් දේශීය ආසාදිතයින් වන අතර ඉන් 253 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද , 65 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද 35 ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබේ. එක් විදේශිකයෙකු ඇතුළු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුට කොරෝනා ආසාදිත බව  හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුර ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 18,487 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 12,437 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ දින (26) PCR පරීක්‍ෂණ 12,105 ක් සිදුකර ඇති අතර අද (27) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී 369 දෙනෙකු වෛරසයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, අද උදෑසන මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 305 ක් වන අතර, දෝහා කටාර්හි  සිට පුද්ගලයින් 50 ක්, ඩුබායිහි සිට 52 ක්, ඕස්ට්‍රේලියාවේ සිට  191 ක් සහ ජපානයෙන් 12 දෙනෙකු ඊට ඇතුළත් වේ. මේ අතර, ඉතාලියේ සිට පුද්ගලයින් 75 දෙනෙකු අද උදෑසන  දිවයිනට  පැමිණිමට නියමිතය. ඔවුන් සියල්ලන්ම නිරෝධායනය සඳහා යොමු කෙරේ.

රට තුළ වෛරසයෙන් සුවය ලැබූ    පුද්ගලයින් 15,815 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද වන විට ත්‍රිවිධ හමුදා මගින් පවත්වාගෙන යනු ලබන  නිරෝධායන මධ්‍යස්ථාන 47 ක පුද්ගලයින් 5,114 ක් හුදෙකලා කර ඇති අතර 6,113 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය පැය 24 තුළ කොළඹ 08 , පෑලියගොඩ සහ බම්බලපිටිය ප්‍රදේශ වලින් වාර්තා වූ කොරෝනා  මරණ තුනත් සමඟ රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ ගොස් තිබේ.