‘බුරවී ’ සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඇතුළු වනු ඇති බවට අපේක්ෂා කෙරේ - ආරක්ෂක ලේකම්

දෙසැම්බර් 02, 2020

‘බුරවී’ සුළි කුණාටුව අද (දෙසැම්බර් 02) සවස ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඇතුළු වනු ඇති බවට අපේක්ෂා කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හදිසි අවස්ථාවක දී  අදාළ ප්‍රදේශවල ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණය කිරීම සඳහා පූර්ව පියවර ගෙන තිබේ.

තවද, සිදුවිය හැකි හානිය අවම කිරීම සහ විපත් වළක්වා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ අනෙකුත් අදාළ රජයේ බලධාරීන්, සෞඛ්‍ය අංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය උතුර, නැගෙනහිර සහ වන්නි ආරක්ෂක සේනා අඥාපතිවරුන්ට  නියෝග නිකුත් කර තිබේ.

සිවිල් හා හමුදා ආපදා සහන  ඒකක සමඟ මනා සම්බන්ධීකරණයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සතුව ඇති අතර සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා කඩිනම්  ප්‍රතිචාර දැක්වීම අතිශයින්ම අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.

ත්‍රිවිධ හමුදා, පොලිස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අදාළ රජයේ බලධාරීන් ජනතාව ආරක්ෂාකර ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.