ගංගොඩවිල සමාධි විහාරස්ථාන අභිනව සෑයේ කොත ආරක්‍ෂක ලේකම් අතින් නිරාවරණය කෙරේ

දෙසැම්බර් 05, 2022

නුගේගොඩ ගංගොඩවිල සමාධි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ දෙසැම්බර්  03 වන දා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න අතින් විවෘත කෙරිණි.

නව චෛත්‍යයේ කොත මත තැන්පත් කර ඇති චූඩා මාණික්‍යය, මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් ජෙනරල් ගුණරත්න විසින් නිරාවරණය කරන ලදි.

විහාරාධිපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ ආරාධනයෙන්, ආරක්‍ෂක ලේකම් එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම උත්සවයට සහභාගි වූ අතර, රණවිරුවන් සිහිකර ඔවුන්ගේ ආත්මයන්ට ආගමික ආශිර්වාද පතා ඔහු විසින් චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත මෙම අලංකාර චූඩා මාණික්‍යය පූජා කරන ලදි.

විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් හා ආගමික වතාවත් මධ්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ තාක්ෂණික විශේෂඥතාව සහ ශ්‍රමය ලබා දෙමින් මෙම උදාර කාර්යය සඳහා විශාල සහයෝගයක් ලබා දී ඇත.

මෙම උදාර ව්‍යාපෘතිය සඳහා මුල්‍ය අනුග්‍රහය සපයා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වන හිරණ්‍යා ධර්මපාල සහ සංජය රණවීර විසිනි.

මෙම අවස්ථාව සංකේතවත් කිරීම සඳහා මෙම ආගමික උත්සවයේදී අනුග්‍රාහකයන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජෙනරල් ගුණරත්න වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.

කොත නිරාවරණය කිරීමේ උත්සවය සඳහා මහා සංඝරත්නය, ව්‍යාපෘතියේ අනුග්‍රාහකයින් සහ සැදැහැවතුන් විශාල පිරිසක් ද සහභාගී වූහ.