රුසියානු තානාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

දෙසැම්බර් 05, 2022

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති අතිගරු Levan Dzhagaryan මැතිතුමා අද (දෙසැ 05) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් රුසියානු තානාපති පැමිණි අවස්ථාවේදී ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඔහු සමඟ සුහද කතාබහක නිරත විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ හමුදා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව මෙම සුහද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් රුසියානු තානාපති වෙත සමරු තිළිණයක් ද පිරිනැමිණ.

රුසියානු තානාපති කාර්යාලයේ හමුදා, ගුවන් සහ නාවික උපදේශක Col. Aleksey Bondarev, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධතා නිලධාරී කර්නල් තුසිත බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානාරච්චි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.