5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන්
ප්‍රජාසත්කාරක සේවාවක්

දෙසැම්බර් 12, 2022

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ 661 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ධානපතියෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත කොල්ලකාරච්චි ග්‍රාමසේවා වසමේ සෙල්ලිපුරම් ගම්මානයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙත ඉදිකරදුන් නව නිවස ඉකුත් සෙනසුරාදා (03) දින එම නිවාසලාභී පවුල වෙත ප්‍රදානය කරනු ලැබූහ.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක ප්‍රියදර්ශන ගේ උපදෙස් මත 661 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය සහ ශිල්පීය දැනුම යොදා ගනිමින් එම නව නිවස ඉදිකර තිබිණි.

යුද්ධ හමුදා භටපිරිස් විසින් උතුරු ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් මේ වන විට ප්‍රජා සත්කාරක ව්‍යාපෘති රාශියක් සිදුකරමින් පවතින අතර, එම ව්‍යාපෘතින්හි එක් කොටසක් ලෙස දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා නව නිවාස ඉදිකර දීමට මූලිකව කටයුතු කරන බැවින් බොහෝ පරිත්‍යාගශීලන් යුද්ධ හමුදාව කෙරෙහි ඇති විශ්වාසනීය බව හේතුවෙන් මෙවැනි නිවාස ඉදිකර දීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන් සඳහා සිය මූල්‍යමය දායකත්වය ලබාදෙයි.

නව නිවස ලබාදීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් සම්ප්‍රදායානුකූල හින්දු ආගමික වතාවත් මධ්‍යයේ නව නිවසේ යතුර සංකේතාත්මකව නිවාස ලාභී අනෝජන් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ප්‍රදානය කරන ලද අතර, එහිදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් කිහිපයක්ද ලබාදීම සිදුකෙරිණි.

නව නිවස ලබාදීමේ උත්සව අවස්ථාව සඳහා 661 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් සෙනෙවිරත්න, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ආරාධිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගී වූහ.

අනුග්‍රහය - www.army.lk