ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 49 වන අදියර අම්පාරෙන් අවසන් වේ

ජනවාරී 20, 2023

ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 49 වැනි අදියර සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද ජල ව්‍යාපෘතියක් පසුගියදා (ජනවාරි 18) අම්පාර ගෝනගොල්ල මායාදුන්න විද්‍යාලයේ දී සිසු අයිතියට පත් කරන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

පාසලේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම ද ඇතුළත් වූ මෙම ව්‍යාපෘතිය මගින් සිසුන් 200 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙන බව ගුවන් හමුදාව පැවසීය.

ව්‍යාපෘතිය භාරදීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයේදී පාසල් සිසුන් සඳහා අභ්‍යාස පොත් බෙදාදීම ද සිදු කෙරිණි.

අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් නිශාන්ත ප්‍රියදර්ශනගේ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ අම්පාර ගුවන් හමුදා කඳවුර විසින් මේ සඳහා අනුග්‍රහය දක්වා ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙම අවස්ථාවට පාසලේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසු සිසුවියන් ද එක්ව සිටියහ.