දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ රාජකාරි සඳහා
ශ්‍රී ලංකා යුද හමුදාවෙන් වෛද්‍ය කණ්ඩායමක්

ජනවාරී 27, 2023

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්නාගෙන යනු ලබන දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ (පෙබරවාරි 2) දින සිට සේවය කිරීමට යන 9 වැනි වෛද්‍ය කණ්ඩායම වෙත ඉකුත් බදාදා (ජනවාරි 25) එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා පිටත්ව යාමට පෙර වේරහැර ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය රෙජිමේන්තු මූලස්ථාන ක්‍රීඩාංගණයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් සුභ පැතුම් එක් කලහ.

එම ස්ථානයට පැමිණි යුද හමුදාපතිවරයා හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව හමුදා ආචාර මධ්‍යයේ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ සේනාවිධායක සහ යුධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පි.ඵ්.සි ප්‍රනාන්දු විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

මෙහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ක්‍රියාන්විතයන් සඳහා මනා පුහුණුවක් ලද එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත සාම සාධක කණ්ඩායමේ අණදෙන නිලධාරි වෙත ජාතික ධජය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ධජය භාරදෙන ලද බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

යුද්ධ හමුදා සාමාජිකයින් 66 දෙනෙකුගෙන් යුත් දකුණු සුඩානය බලා පිටත්ව යන 9 වන කණ්ඩායමට නිලධාරින් 17 දෙනෙක් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සෙබළුන් 40 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ සෙබළුන් 02 දෙනෙක්, ඉංජිනේරු සේවා බලකායේ සෙබළුන් 02 දෙනෙක්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙබළුන් 04 දෙනෙක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නියෝජනය කරමින් එක් සෙබළෙකු ද ඇතුළත් වන බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

මේ වනවිට දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා යොදවා සිටින 8 වන ශ්‍රී ලංකා (SRIMED) කණ්ඩායම 9 වන කණ්ඩායම සිය රාජකාරි භාර ගැනීමෙන් පසු සිය රට බලා පැමිණීමට නියමිතව ඇත.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඥාතීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.