ආහාර සුරක්‍ෂිතතාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය ඉතා වැදගත් - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

පෙබරවාරි 03, 2023

අද ශ්‍රී ලංකා රජය අප රටේ ආහාර සුරක්‍ෂිතතාව සඳහා විශේෂ අවධානයක් යොමු කරන අතර එහිදී  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය ඉතා තීරණාත්මක බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පැවසීය.

දේශගුණික, කාලගුණික තොරතුරු සහ එහි පුරෝකථනයන්හි වැදගත්කම සබැඳිව සඳහන් කල රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකර්මය, ජලය, සෞඛ්‍ය සහ විදුලිය ඇතුළු අංශවල ඵලදායිතාව ඉහල නැංවීමෙන් මෙන්ම මහජනතාව සහ දේපළ ආරක්‍ෂා කිරීම මගින් රටේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට හැකි බවයි.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා මෙම අදහස් පළ කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  සමඟ පවත්වා ගෙන යන සහයෝගිතාව සංකේතවත් කරමින් ‘ලෝක ආහාර වැඩසටහන’ (WFP) මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට Multi-Tasking Server උපාංගයක් පරිත්‍යාග කිරීම සදහා සංවිධානය කර තිබූ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින්  ජන හමුවක් අමතමිනි.

කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ  ජෙනරාල් අතුල කරුණානායක විසින් වැඩසටහන ආරම්භයේදී පිළිගැනීමේ කතාව සිදු කළ අතර, මෙම අවස්ථාවේදී ලෝක ආහාර වැඩසටහනෙහි දායකත්වය අධ්‍යක්‍ෂ   පර්යේෂණ සහ දේශගුණික විපර්යාස ඒ ආර් පී වර්ණසූරිය මහතා විසින් පැහැදිලි කරන ලදි.

ලෝක ආහාර වැඩසටහන විසින් ලබා දෙන ඉතා වටිනා කාලෝචිත සහයෝගය අගය කළ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් තවදුරටත් කියා සිටියේ ලෝක ආහාර වැඩසටහන තවත් වසර පහක් දක්වා වැඩසටහන් චක්‍රය ආරම්භ කිරීම පිළිබදව අතිශයින් සතුටු වන අතර මෙමගින් ආපදා කළමනාකරණ අංශය සහ ඒ ආශ්‍රිත ආයතන වැඩිදියුණු වන බවයි.

ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා නියෝජිත අබ්දුර් රහීම් සිද්ධික් මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් කියා සිටියේ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාව සමඟ ඇති සහයෝගීතාවයට දිගු ඉතිහාසයක් ඇති අතර වර්තමානයේ එහි කටයුතු පුළුල් වී ඇති බවත්ය.

ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂන් ජයවර්ධන, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ  ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විතානාරච්චි, දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ලෝක ආහාර වැඩසටහනෙහි නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.