මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන තිබේ

මැයි 07, 2019

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙහෙස නොබලා කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා ඊයේ (මැයි 06) සවස අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. මේ වනවිට සිදුවිය හැකි ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවකට මුහුණ දීම සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් රටපුරා ක්‍රියාත්මක වෙමින් පවතී. ව්‍යාජ තොරතුරු හෝ කටකතා වලට නොරැවටෙන ලෙසද ජාතික ආරක්ෂාවට හානිදායක වන කිසිවක් පල නොකරන දෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පාසල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ. දෙමව්පියන්, පාසල් බලධාරීන් සහ ගුරුවරුන්ගේ සහයෝගය ඇතිව පාසල් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් අවශ්‍ය සියළු ආරක්ෂක පියවර ගෙන ඇත. හදිසි නීති රෙගුලාසි යටතේ ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය බලතල ලබාදී ඇති අතර, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකරමින් පවතින බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය. බෝම්බ ප්‍රහාරයන්ට සම්භන්ධ සියලුම අයවලුන්ට එරෙහිව පියවර ගැනීමට දැනටමත් අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ. කටකතා වලට නොරැවටෙන ලෙසත් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් එතුමන් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

දිවයිනේ සියලුම වරායන් වල ආරක්ෂාව තර කර ඇති අතර, අනෙකුත් ආරක්ෂක අංශ සමග එක්ව රටේ ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ. වෙරළබඩ ප්‍රදේශවල සහ මුහුදේ ආරක්ෂාව සහතික කිරීම සඳහාත්, සතුරු තර්ජන සහ නීති විරෝධී කටයුතු වළක්වා ගැනීමටත් පියවර ගෙන ඇති බව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. සමාජයේ සෑම ජන කොටසක ම සාමූහික ප්‍රයත්නයක් තුලින නැවට රට සාමාන්‍ය තත්වයට ගෙන ඒමට හැකිවන අතර අපගේ එදිනෙදා ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇති බවද එතුමන් වැඩිදුරටත් පැවසිය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවීමත් සමගම ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපොළේ සහ ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලදී. ගුවන් මගීන් සඳහා උපරිම ආරක්ෂාව සැපයීමට අවශ්‍ය සියලුම ආරක්ෂණ පියවර ගන්නා අතර ඔවුන් අත්විඳින අපහසුතාවයන් උපේක්ෂාවෙන් ඉවසන ලෙසට ඉල්ලීමක් කරන ලදී. එල්ලෙවිය හැකි ඕනෑම ගුවන් ප්‍රහාරයකට මුහුණ දීමට ගුවන් හමුදාව සුදානම් බව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා පැවසීය. කටකතා විශ්වාස නොකරන ලෙසද ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙම බෝම්බ ප්‍රහාරයන්ට සම්භන්ධ සියලුම සැකකරුවන් මේ වනවිට හඳුනා ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර ඔවුන්ගෙන් වැඩිදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග මියගියහ. ඔවුන් අතර සිටි බෝම්බ විශේෂඥයන් දෙදෙනෙකුද මෙම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගොස් ඇත. මෙම පිරිස විසින් ඉදිරියේදී භාවිතා කිරීමට සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොග ද සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. ඒ අනුව මෙම ප්‍රහාරය සම්බන්ධ සියලුම දෙනා හඳුනාගෙන ඇති අතර ඍජුවම වගකිවයුතු අය අත්අඩංගුවට ගෙන ඇති බව පැහැදිලිවම ප්‍රකාශ කළ හැකි බව වැඩබලන පොලිස්පති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා පැවසීය. ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් වෙමින් තිබේ. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව කටයුතු කරයි. පාසැල්වල දැනුවත් කිරීමේ වැඩසටහන් ද පැවැත්වේ. සමාජ මාධ්‍ය තුල පැතිරෙන කටලතා සහ තහවුරු නොකළ පුවත් පිලි නොගන්නා ලෙසත් යම් තොරතුරක් සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් අදාල බලධාරීන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් පැවසිය.

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පවත්වන ලදී.