ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව තවත් මුහුදු කැස්බෑ පැටවුන්
මුහුදට මුදා හැරේ

පෙබරවාරි 07, 2023

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගියදා මිරිස්ස සහ බලපිටිය ප්‍රදේශවලින් මුහුදු කැස්බෑ පැටවුන් 140 කට අධික ප්‍රමාණයක් මුහුදට මුදා හරින ලදී.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක ආරංචි මාර්ග අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් 2023 වසරේදී කැස්බෑ බිත්තර 13569ක් සංරක්ෂණය කර ඇති අතර පැටවුන් 1153ක් මුහුදට මුදා හැර ඇත.

මෙලෙස මුහුදු කැස්බෑ පැටවුන් දහස් ගණනක් මුහුදට මුදාහැර ඇත්තේ වෙරළාරක්‍ෂක කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේය.

මෙම මාසයේ පළමු සතිය තුළ පමණක් (පෙබරවාරි 1 - 6) මිරිස්ස, හික්කඩුව, මොරගොල්ල සහ බලපිටිය වෙරළාරක්ෂක මුරපොලවලට අනුයුක්ත වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ගේ ස්වභාවික වාසභූමියට ආසන්න ස්ථානවලින් මුහුදු කැස්බෑ බිත්තර 2052 ක් සොයාගෙන ඇති බව එහි සඳහන් වේ.

මුහුදු කැස්බෑවන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පසුබිමක කැස්බෑ බිත්තර ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන තුළ හෝ ඒ අවට සංරක්ෂණය කිරීමට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සෑම උත්සාහයක්ම ගනු ලබයි.