අසරණ අයවළුන්ට යුද හමුදාවෙන් උපකාර

පෙබරවාරි 10, 2023

උතුරු පළාතේ උදයාර්කට්ටු ප්‍රදේශයේ සිසුන් පිරිසකට නව සපත්තු පිරිනැමීමේ වැඩසටහනක් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සාමාජිකයින් පසුගියදා (පෙබ 05) පවත්වන ලදි. 68 වන සේනාංකයට අයත් 682 පාබල බලසේනාවේ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් වල මූල්‍ය දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය පැවසීය.

මෙහිදී කඳවුරු පරිශ්‍රය වෙත සිසුන් කැඳවා ඔවුන්ට රුපියල් 3,500.00 වටිනා සපත්තු යුගල පිරිනැමිම සිදුකරන ලදි.

682 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගලප්පත්තිගේ උපදෙස් මත අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.එම්.ඩී.එස් දිසානායකගේ අධීක්‍ෂණය යටතේ මෙම සමාජ සේවා කටයුතු සිදුකරන ලදි.

මේ අතර, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 61 වන පාබල සේනාංකයේ 613 පාබල බලසේනාවේ හමුදා භට පිරිස් විසින් කඹුරුපිටිය බමුණුගම ප්‍රදේශයේ අසරණ පවුලක් වෙත පසුගිය සඳුදා (පෙබ 06) රුපියල් 30,000.00 ක් වටිනා වියළි සලාක ඇතුළු පරිත්‍යාග ලබාදෙන ලදි. භට පිරිස්ගේ මූල්‍ය අරමුදල් මඟින් මෙම පරිත්‍යාගය ලබා දී ඇති බව යුද හමුදාව පැවසීය.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදි.