නීති විරෝධී මෝර මසුන් සහ වරල් තොගයක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

පෙබරවාරි 13, 2023

නීතිවිරෝධී ලෙස ලබා ගන්නා ලද මෝර මසුන් සහ මෝර වරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු දික්ඕවිට ධීවර වරායේදී ඊයේ (12) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

‍දික්ඕවිට ධීවර වරායේ නිරීක්‍ෂණ හා නියාමන රාජකාරි සඳහා යොදවා සිටි බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම මෝර මසුන් සහ වරල් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ බෝට්ටුව තුළ සඟවා තිබූ වියලන ලද මෝර මත්ස්‍ය කොටස් කිලෝ 41ක් සහ වරල් කිලෝ 9.8ක් ඒවා ගොඩබෑමේදී අත්අඩංගුවට ගත් බවයි.

ඕනෑම මෝර විශේෂයක කොටස් සන්තකයේ තබා ගැනීම, ප්‍රතිනැව්ගත කිරීම, විකිණීම හෝ ගොඩබෑම, ‘1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ අංක 4 වගන්තියට අනුව වරදකි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ සමඟ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කර ඇති බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.