ගැරඬියාඇල්ල ප්‍රදේශයේ අතරමං වූ සංචාරකයින් මුදාගැනීමට
යුද හමුදාවේ සහයෝගය

පෙබරවාරි 21, 2023

උඩුදුම්බර, ගැරඬියාඇල්ල කඳුකර ප්‍රදේශයේ අතරමංව සිටි දේශීය සංචාරකයින් පිරිසක් ඉරිදා (පෙබ 19) දින ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් බේරා ගන්නා ලදි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩුදුම්බර කඳුවැටියේ අතරමංව සිටි දේශීය සංචාරකයින් 33 දෙනෙකු ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන පාබල සේනාංකයට අයත් 111 වන පාබල බලසේනාවේ 1 වන ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භටපිරිස් විසින් මුදවා ගෙන ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආරංචි මාර්ග පවසයි.

තවද මෙම සංචාරකයින් පිරිස ඉකුත් (පෙබ 18) දින උදෑසන උඩුදුම්බර, ගැරඬියාඇල්ල කඳවුවැටිය තරණය කිරීම සඳහා පිටත්ව ඇති නමුත් අයහපත් කාලගුණය හමුවේ සැලසුම් කළ පරිදි කඳුවැටියෙන් බැසීමට ඔවුන් අපොහොසත් වී ඇත. මේ පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව යුද හමුදාවේ මුදා ගැනීමේ කණ්ඩායමක් සහ උඩුදුම්බර පොලිසියේ නිලධාරීන්ද මෙම ගලවා ගැනීමේ මෙහෙයුමට සිය සහයෝගය ලබා දී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.