‘විරු සිසු ප්‍රදීප’ ව්‍යාපෘතිය යටතේ රණවිරු දරුවන්ට ශිෂ්‍යත්ව

පෙබරවාරි 24, 2023

මියගිය සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ සහ යුධ හමුදා පවුල්වල දරුවන්ට අධ්‍යාපනික සහන ලබාදීමේ අරමුණින් යුධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරම්භ කරන ලද 'විරු සිසු ප්‍රදීප' ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ දෙවන අදියර (පෙබ 23) යුධ හමුදා මූලස්ථානයේදී ආරම්භ විය.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයේදී රු. 25,000 ක් බැගින් වූ ශිෂ්‍යත්ව 100 කට අධික ප්‍රමාණයක් සංකේතාත්මකව සිසුන් වෙත පිරිනැමුණු බව යුද හමුදාව පවසයි.

යුධ හමුදා සේවා වනිතා ඒකකයෙහි සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ දරුවන් සහ සේවයේ නියුතු අයගේ දරුවන් ප්‍රතිලාභීන් මේ අතර විය.

ජාතික ආරක්ෂක අරමුදල සහ ලංකා බැංකුව එක්ව ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා අනුග්‍රහය දක්වන බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.