මාලදිවයිනේ සන්නද්ධ හමුදාවන් හට ශ්‍රී ලංකා හමුදාව ලබාදී ඇති පුහුණුව
නව මාලදිවයින් මහ කොමසාරිස්වරයාගේ‍ පැසසුමට

මාර්තු 16, 2023

ශ්‍රී ලංකාවේ හමුදා පුහුණු ආයතන විසින් මාලදිවයින් ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සඳහා ලබාදෙන හමුදා පුහුණුව උසස් ප්‍රමිතියෙන් යුතු සහ ගුණාත්මක පුහුණුවක් බව ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ නව මහ කොමසාරිස් වන අතිගරු අලි ෆායිස් මැතිතුමා ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මහ කොමසාරිස් ෆායිස් මැතිතුමා මාලදිවයින් වැසියන් විවිධ අවශ්‍යතා මත ශ්‍රී ලංකාවට පැමිණෙන විට මෙරට බලධාරීන් ඔවුන් හට ලබාදෙන සහයෝගය පිළිබඳව සිය හෘදයාංගම ප්‍රශංසාව ද පළ කළේය.

එතුමා මෙම අදහස් පළ කළේ අද (මාර්තු 16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ජෙනරල් ගුණරත්න හමුවූ අවස්ථාවේදී ය.

නව පත්වීම භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත සංචාරය කල එතුමා ආරක්‍ෂක ලේකම්වරයා සමඟ පැවැත්වූ පළමු නිල හමුව ද මෙය වේ.

අද උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි අතිගරු ෆායිස් මැතිතුමා ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙහිදී මහ කොමසාරිස්වරයා මාලදිවයින් ජනරජයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ප්‍රකාශ කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ජෙනරල් ගුණරත්න දෙරට අතර දිගුකාලීන සුහද සබඳතාව සිහිපත් කරමින් මාලදිවයින සැමවිටම ශ්‍රී ලංකාවට මිතුරෙකු බව ද පැවසීය.

තවද, දෙරට අතර ද්විපාර්ශ්වික වැදගත්කම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය පිළිබඳ කරුණු ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

රැස්වීමෙන් අනතුරුව ජෙනරල් ගුණරත්න අභිනවයෙන් පත්වූ නව මහ කොමසාරිස්වරයා වෙත සිය සුභාශිංසන පළ කළ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ද පැවසීය.

වෘත්තියෙන් නාවික ඉංජිනේරුවරයෙක් වන මෙතුමා පසුගිය මාසයේ (පෙබරවාරි 2) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත අක්තපත්‍ර භාර දුන්නේය. ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමට පෙර ඔහු මාලදිවයින් පොලිස් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

ආරක්‍ෂක ලේකම්වරයා සහ මාලදිවයින් මහ කොමසාරිස්වරයා අතර පළමු නිල හමුව සංකේතවත් කරමින් සහ සුහදතාවයේ සංකේතයක් ලෙස සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර සහ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් හසන් අමීර් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.