ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය තවත් මුහුදු කැස්බෑ පැටවුන් මුහුදට මුදා හරියි

මාර්තු 22, 2023

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මුහුදු කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ කැස්බෑ පැටවුන් 8000 කට වැඩි ප්‍රමාණයක් 2023 වර්ෂයේදී මුහුදට මුදාහැර ඇත.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණ කර තිබූ කැස්බෑ බිත්තරවලින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් 2600 කට අධික සංඛ්‍යාවක් පසුගියදා මුහුදට මුදා හරින ලදි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය සඳහන් කරන පරිදි, පසුගිය සතියේ (මාර්තු 13 සිට 19 දක්වා) මිරිස්ස, දෙහිවල, හික්කඩුව, පානදුර, වැල්ලවත්ත සහ ගාලු මුවදොර ප්‍රදේශවලින් කැස්බෑ පැටවුන් 2621 ක් මුහුදට මුදා හරින ලද අතර එම කාලය තුළ මුහුදු කැස්බෑ බිත්තර 2526 ක් ගොඩ ගන්නා ලදි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ මේ වන විට කැස්බෑ බිත්තර 39770 ක් සංරක්‍ෂණය කර ඇති අතර මෙම වසරේදී පමණක් පැටවුන් 8043 ක් මුහුදට මුදා හැර ඇත.