ග්‍රාමීය ප්‍රජාවට පහසුකම් සැලසීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය ප්‍රතිආස්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පිහිටුවයි

අප්‍රේල් 18, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සිය ප්‍රජා සුභසාධන සේවා පුළුල් කරමින් දඹුල්ල, අලකොළවැව ගම්වාසීන්ට සහ අලකොළවැව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට ආරක්‍ෂිත පානීය ජලය සැපයීම සඳහා ප්‍රතිආස්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පසුගියදා ස්ථාපිත කරන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මියගේ උපදෙස් පරිදි ඉදිකරන ලද මෙම ජලපිරිපහදු මධ්‍යස්ථානය අප්‍රේල් 10 වන දින විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්‍ෂණික, විශේෂඥ දැනුම සහ ශ්‍රමය දායකත්වය ලබා දෙන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රතිපත්ති ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය, සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් චමින්ද හේරත්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී මේජර් තාරක ගනේෂ්, සිසුන් සහ ගම්වාසීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.