ආපදාවලින් පීඩාවට පත් රටවලට සහාය වීම සඳහා ගෝලීය ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා සැලසුම් කරයි

මැයි 17, 2023

අපට අවශ්‍ය වන්නේ අපගේ ආපදා කළමනාකරණ අංශය ගෝලීය ප්‍රමිතීන්ට සමගාමීව දියුණු කිරීමට ය; එබැවින් ආපදාවලින් පීඩාවට පත් රටවලට සහය වීම සඳහා ගෝලීය ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට අපි අදහස් කරන අතර අප මෙය ප්‍රමුඛස්ථානයක් කර ගෙන තිබෙනවා යැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මැයි 17) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක බළකායේ නියෝජිත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය.

සිවිල්-හමුදා සම්බන්ධීකරණය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන අතරම ශ්‍රී ලංකා හමුදාව ක්‍රමානුකූලව නිවැරදි ප්‍රමාණයට පවත්වාගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. කාර්යක්‍ෂමතාව සහ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා නව තාක්‍ෂණයන් අනුගමනය කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

ආපදා තත්ත්වයන්හිදී පුහුණුවීම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේදී උපායශීලී සහ ක්‍රියාකාරී මට්ටමින් සහය වන බව එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මේජර් ජෙනරල් ජෝන් පී රොනෙක් (Maj. Gen. John P Hronek) පැවසීය.

හානි අවම කිරීම සඳහා ගොඩනැගිලි කේතයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම සහ ජංගම දුරකථන හරහා අනතුරු ඇඟවීමේ පද්ධතියක් හඳුන්වාදීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් වූ මාතෘකා අතර විය.

මොන්ටානා ප්‍රාන්තයේ සහකාර ජෙනරාල් වන මේජර් ජෙනරල් ජෝන් පී රොනෙක් මොන්ටානා ජාතික ආරක්‍ෂක බළකායේ අණදෙන නිලධාරියා සහ හමුදා කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ලෙස සේවය කරයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානාරච්චි මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී නෙල්සන් ද මෙම අවස්ථාවට එක් වූහ.