රටට සෙත් පතා සඳහිරු සෑය අභියස දී පිරිත් සජ්ඣායනාවක්

මැයි 21, 2023

•   ‘සඳහිරු සෑය සහ ජය පිරිත්’ සජ්ඣායනාව ජාතියේ ප්‍රණාමය සංකේතවත් කරයි.

රටට, ජනතාවට, ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ට සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද පතා වාර්ෂිකව පැවැත්වෙන ‘ජය පිරිත්’ සජ්ඣායනාව මහා සංඝරත්නය විසින් සඳහිරු සෑය අභියසදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගීත්වයෙන් සිදුකළ අතර, අද (21) උදෑසන මහ සංඝරත්නය වෙත දානමය පිංකම් සමඟින් එම ආගමික කටයුතු අවසන් කරන ලදි.

රතන සූත්‍ර සජ්ඣායනය බලගතු ආරක්‍ෂක උපක්‍රමයක් ලෙස අතීතයේ සිටම අප සමාජය අශුභ බලපෑම්වලින් හා වසංගතවලින් ආරක්‍ෂා කිරීමටත් භාවිත කර ඇත.

මෙම ආගමික ආශිර්වාද වැඩසටහන සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, උසස් රාජ්‍ය හා හමුදා නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් ද සහභාගී විය.

2008 වස‌රේ සිට ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද පතා වාර්ෂිකව සිදුකරනු ලැබූ ජය පිරිත් සජ්ඣායනය මෙවරත් උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සර්වඥ ධාතු කරඬුව අලංකාරවත්වූ පෙරහැරකින් පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවා, පිරිත් සජ්ඣායනය ආරම්භ කිරීමට මහා සංඝරත්නය වෙත ආරාධනය සිදුකිරීමෙන් අනතුරුව ප්‍රධාන අනුශාසනාව පූජ්‍ය රළපානවේ ධම්මජෝති නාහිමියන් සිදුකරන ලදි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතනාභිදාන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛව පූජ්‍ය රළපානවේ ධම්මජෝති නායක ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය වැලිහේනේ සෝභිත නායක හිමිගේ අනුශාසකත්වයෙන් සහ සහභාගීත්වයෙන් යුතුව ආගමික වතාවත් සිදුකරන ලදි.

රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද පතමින් සිදුකළ මෙම පිංකමට මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් ද එක්ව සිටියහ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, රණවිරුවන්, මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින් සහ බැතිමතුන් විශාල පිරිසක් ද මෙම ආගමික ආශිර්වාද වැඩසටහනට එක්ව සිටියහ.