‘සඳහිරු සෑය පුණ්‍ය භාරය’ අනුරාධපුර මහ රෝහලට
රුධිර පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

ජුනි 04, 2023
  • අනුරාධපුර නිදන්ගත වකුගඩු රෝගීන්ට රුපියල් මිලියන 3.3 ක් වටිනා රුධිර පෙරන යන්ත්‍රය මගින් සහනයක්
  • එවකට සටනේදී තුවාල ලැබූ සොල්දාදුවන් සුවකිරිමේ නිවහනක් වුයේ අනුරාධපුර ශික්‍ෂණ රෝහලයි

රටේ යුද්ධය පැවති සමයේ එවකට යුද පෙරමුණේ දී බරපතල තුවාල ලැබූ සෙබළුන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා උදාර සේවයක් ලබා දුන් හමුදාවට සුවය දෙන නිවහනක් වූ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් තමන්ද දෙවරක් ප්‍රතිකාර ලබා ගත් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සිහිපත් කරන ලදි.

අද (ජුනි 04) දින අනුරාධපුර මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයට රුපියල් ලක්ෂ 33 ක් වටිනා රුධිර කාන්දු පෙරන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ කෙටි උත්සවයකදී ජෙනරල් ගුණරත්න මෙම උදාර මෙහෙවර සිහිපත් කළේ ය.

ආරක්‍ෂක ලේකම්වරයාගේ සංකල්පයක්‌ මත ආරම්භ කරන ලද ‘සඳහිරු සෑය පුණ්‍ය භාරය’ හරහා මෙම උදාර කර්තව්‍යයට අරමුදල් සම්පාදනය කරන ලද අතර එම අරමුදල් යොදා ගනිමින් සිදුකරන ලද පළමු පරිත්‍යාගය ද මෙය විය.

ඒවාගේම එදා සිට අද දක්වා රෝහල වෙත පැමිණෙන රෝගීන් යහපත් මානුෂික සහ කාරුණික බවකින් රැකබලා ගත් විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ද ඔහු මෙහිදි සිහිපත් කළේය.

අනුරාධපුර ශික්‍ෂණ රෝහල උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති සටන්වලදී දහස් ගණන් හමුදා/සිවිල් ජන ජීවිතවලට සත්කාර කරමින් විශාල කාර්යභාරයක් ඉටු කළේය. අද වන විට, මෙම රෝහල එම දිස්ත්‍රික්කයේ නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වකුගඩු රෝගීන් සදහා ප්‍රතිකාර සපයන රෝහලක් ලෙස මහත් පිළිගැනීමකට ලක්වී ඇත.

රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ආයතන නඟා සිටුවීම අප හමුදාවන් හී යුතුකමක් බව සඳහන් කරමින් ජෙනරල් ගුණරත්න මෙම රෝහලේ ඉදිරි කටයුතු සඳහා තම උපරිම සහයෝගය ලබා දෙන බවට මෙහිදි අවධාරණය කළේය.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති රුවන්වැලි සෑ විහාරස්ථානාධිකාරි පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤාණතිලක නාහිමි ඇතුළු මහා සංඝරත්නය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජානක ජයසුන්දර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චම්පික රණසිංහ, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ටී.එච් අජන්තා රාජකරුණා, හමුදා සාමාජිකයින් සහ රෝහල් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.