යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා
ජංගම අක්‍ෂි සායන වැඩසටහනක්

අගෝස්තු 16, 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මුලතිව් ප්‍රදේශයේ අක්‍ෂි ආබාධයන්ගෙන් පෙළෙන සිවිල් වැසියන් 464 දෙනෙකු සඳහා වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර ලබා දීමේ ජංගම අක්‍ෂි සායන වැඩසටහනක් මුලතිව්, උදයාර්කට්ටු මහා විද්‍යාලයේදී පසුගිය ඉරිදා (අගෝස්තු මස 13) දින පැවැත්වීය.

මුලතිව් ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර සුහදතාවය, සිවිල් සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රජා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය අසේල අබේදීර මහතා සහ එම කණ්ඩායම, 68 පාබල සේනාංකයේ යුද්ධ හමුදා නිලධාරීන් ඇතුළු සෙසුනිලයන් 40 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

‘Assist RR (UK)’ හි සභාපති වෛද්‍ය වී. සර්වේශ්වරන් සහ තායිලන්තයේ ‘Tzu Chi’ බෞද්ධ සුබසාධන පදනමේ ශ්‍රී ලංකා නියෝජිත අරෝෂ පරණවිතාන යන මහත්වරුන්ගේ අනුග්‍රහකත්වය මත යාපනය ශික්‍ෂණ රෝහලේදී සිවිල් වැසියන් 139 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සහ ඇස් කණ්නාඩි 100ක් ලබාදීම සිදුකරන ලදී.

අක්‍ෂි වෛද්‍යවරුන් සහ අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායම විසින් සායනයට පැමිණි අක්‍ෂි ආබාධයන්ගෙන් පෙළෙන සිවිල් වැසියන් පරීක්‍ෂා කර අවශ්‍ය වැඩිදුර ප්‍රථිකාර ලබාදීම සඳහා රෝගීන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සිදුකරනු ලැබීය.

වැඩසටහන සඳහා 681 පාබල බලසේනාවේ බලසේනාධිපති, 682 පාබල බලසේනාවේ බලසේනාධිපති, ඒකක අණදෙන නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.

අනුග්‍රහය - www.army.lk